පෙම්වතිය බැලීමට ගොස් අතුරුදහන් වූ කුලියාපිටියේ පදිංචිව සිටි තරුණයාගේ මළ සිරුර මාදම්පේ, පනිරෙන්ඩාව ප්‍රදේශයේ තිබී පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා කියා සිටියේ කැලෑවක තිබී අදාළ මළ සිරුර සොයාගත් බවයි.
පසුගිය අප්‍රේල් මස 22 වනදා කුලියාපිටිය ඉලුක්හේන ප්‍රදේශයේ තරුණයෙකු අතුරුදහන් වී ඇති බවට පොලීසියට ලද තොරතුරක් මත පරීක්ෂණයක් ආරම්භ කරනු ලැබුවා.
මේ අනුව පොලිස් කණ්ඩායම් කිහිපයක් විසින් සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර තිබූ අතර එහිදී සැක කටයුතු පුද්ගලයෙකු අදාළ සිදුවීමෙන් පසුව එම ප්‍රදේශයෙන් පළා යෑම හේතුවෙන් ඒ ඔස්සේ පරීක්ෂණ සිදු කරනු ලැබුවා.
පරීක්ෂණ සිදු කරන මොහොතේදී අදාළ සැකකරු බිරිඳ හා දරුවා සමඟ ප්‍රදේශයෙන් පළා ගොස් තිබීම හේතුවෙන් පොලීසිය ඔහුගේ මව සහ පියා අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත් වුණා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශකයා සඳහන් කළේ තවද අපරාධයකට අනුබල දුන් බවට සැකය මත වැලිමඩ හා කැප්පටිපොල ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන පරීක්ෂණ කටයුතු සිදුකර තිබු බවයි.
කෙසේ වෙතත් අත්අඩංගුවට ගත් එම පුද්ගලයින්ගේ ප්‍රශ්ණ කිරීම්වලින් ලද තොරතුරු මත තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත් වුණා.
මේ අනුව අතුරුදහන්ව ඇති තරුණයාව ඝාතනය කර ඇති බවට අනාවරණය වූ නමුත් එය සිදු කළ ආකාරය හෝ එයට සම්බන්ධ පුද්ගලයින් පිළිබඳව මේ දක්වා අනාවරණය කර ගැනීමට නොහැකි වූ බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළා.
Leave a Reply