Loading...

QR ගැටළුව විසඳන්න ආණ්ඩුවෙන් අලුත් විසඳුමක්

වෙනත් ජංගම දුරකථන අංකයක් සඳහා මීට පෙර ලියාපදිංචි කළ වාහනවල ඉන්ධන QR කේත නැවත ලබා ගැනීම සඳහා අද (19) සිට නව ක්‍රමවේදයක් හඳුන්වා දී තිබෙනවා.

මේ අනුව මීට පෙර (2026 මාර්තු 14ට පෙර) වාහනවල ඉන්ධන QR කේත සඳහා ලියාපදිංචි කරන ලද වාහනය QR කේතය නැවතත් ලබා ගැනීමේ දී එම ලියාපදිංචිය සිදුකළ ජංගම දුරකථන අංකය භාවිතයේ නොමැති වීම හෝ වෙනත් අයෙකු සතුවීම හේතුවෙන් මහජනතාව මුහුණ දුන් අපහසුතා මඟ හරවා ගැනීම සඳහා අද (19) සිට මෙම නව විශේෂාංග පද්ධතියට එක්කර ඇති බව සඳහන්.

• ඔබගේ වාහනයේ අනන්‍යතාව තහවුරු කිරීම සඳහා වාහන අංකය සහ චැසි අංකය නිවැරදිව ඇතුළත් කිරීමෙන් පමණක් මෙම නව පහසුකම භාවිත කළ හැකිය.

• වාහනය දැනටමත් වෙනත් අංකයක් යටතේ ඉන්ධන QR කේත සඳහා ලියාපදිංචි වී තිබුණද (ලියාපදිංචිය 2026 මාර්තු 14ට පෙර විය යුතුය), ඔබ සතු නිවැරදි තොරතුරු ඇතුළත් කර පවතින ලියාපදිංචිය අවලංගු කර ඔබගේ නව දුරකථන අංකය යටතේ ලියාපදිංචි විය හැකිය.

• ⁠ඔබ ‘Override’ විකල්පය තෝරාගත් විට, එම වාහනයට සම්බන්ධ පැරණි ගිණුම දත්ත පද්ධතියෙන් ඉවත් කර ඔබගේ තොරතුරු සහිත නව ගිණුමක් වහාම ක්‍රියාත්මක වෙයි.

මෙම ක්‍රියාවලියේ දී පවතින ඉන්ධන QR කේත සඳහා ලියාපදිංචිය අවලංගු වන අතර පෙර පරිශීලකයාට එම වහනය වෙනුවෙන් ලැබුණු වරප්‍රසාද සහ ප්‍රවේශය අහිමි වනු ඇති.

මෙම පහසුකම මඟින් මේ දක්වා කාලය වෙනත් පාර්ශවයන් සතුව හෝ භාවිතයේ නොමැති දුරකථන අංක යටතේ ලියාපදිංචි වී තිබූ වාහන සඳහා නිවැරදි හිමිකරුට තම QR කේතය බාධාවකින් තොරව ලබා ගැනීමට හැකියාව ලැබෙනවා.

ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරන්නේ තමන්ට නිත්‍යානුකූල අයිතියක් නොමැති අන් පුද්ගලයෙකු සතු වාහන ඉන්ධන QR කේත සඳහා ලියාපදිංචි කළ වාහනයක දත්ත ඉවත් කිරීම දඬුවම් ලැබිය හැකි වරදක් බවයි.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *