Loading...

ඉස්සරහට QR ක්‍රමවේදය තදින්ම ක්‍රියාත්මක කරනවා

දැනට ක්‍රියාත්මක කර ඇති QR ක්‍රමවේදය ඉදිරියේ දී තදින්ම ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව වරාය, සිවිල් ගුවන්සේවා සහ බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පවසනවා.

අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ අද (01) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

මෙම අර්බුදකාරී අවස්ථාවේ ඉන්ධන පරිභෝජනය යම් ලෙසකින් සීමා කිරීමක් සිදු කිරීම මෙහි අරමුණ වන බව අමාත්‍යවරයා මෙහිදී කියා සිටියා.

“මේ අර්බුදය දිගින් දිගටම යෑම තුළ අපිට විශාල වශයෙන් ඉන්ධන පරිභෝජනය අඩු කර ගැනීමේ අවශ්‍යතාවයක් තියෙනවා. අපි දැනටමත් දන්නවා QR ක්‍රමය හරහා, ඒ වගේම කෝටා ක්‍රමය හඳුන්වා දීමත් එක්ක සැලකිය යුතු ලෙස ඉන්ධන පරිභෝජනයේ අඩු කිරීමක් කරන්න අපිට පුළුවන්කම ලැබුණත්, තවමත් රටේ අවශ්‍යතාවයේ මට්ටමට මේක ඇවිල්ලා නැහැ.

දැන් මේ ලෝකය තුළ ඉන්ධන වෙළඳපොළේ ඉන්ධන මිල විශාල වශයෙන් ඉහළ යාමත් එක්ක, විශාල විනිමය ප්‍රමාණයක් රටෙන් එළියට යන්න කටයුතු සිද්ධ වෙලා තියෙනවා. දැන් මේක සංසන්දනාත්මකව කොයි විදිහටද කියලා බැලුවොත්… ජනවාරි මාසේ මිලියන 186යි, පෙබරවාරි මාසේදී මිලියන 97යි, මැයි මාසේ වෙනකොට ඩොලර් මිලියන 524ක් ඉන්ධන සඳහා අපි වියදම් කරලා තියෙනවා විදේශ විනිමය හැටියට.

එතකොට මේ තත්ත්වය තවදුරටත් දරාගෙන ඉන්න අමාරුයි. ඒ නිසා රටක් හැටියට අපි කල්පනා කරලා බලන්න ඕනේ අනිවාර්යයෙන්ම අපේ ඉන්ධන පරිභෝජනයේ කිසියම් විදිහක අඩු කිරීමක් කරන්න. රටෙන් එළියට යන ඩොලර් ප්‍රමාණය අඩු කිරීම සඳහා අපි කටයුතු නොකළොත්, මේක එක පැත්තකින් ඉන්ධන මිල වැඩිවීම සඳහා ඉදිරියේදී බලපෑමක් කරනවා විතරක් නෙමෙයි, ඒ හරහා සමස්ත ආර්ථිකයට කිසියම් බලපෑමක් ඇති කරන්න පුළුවන්.

ඒ නිසා මං හිතන්නේ ඉදිරියේදී ඛනිජ තෙල් නීතිගත සංස්ථාවත්, ඒ වගේම ඩිජිටල් අමාත්‍යාංශය හැටියටත් අපි දැනට ක්‍රියාත්මක කරගෙන යන QR ක්‍රමය මීටත් වඩා ටිකක් තදින් ක්‍රියාත්මක කර ගැනීම සඳහා අවශ්‍ය වන පියවර ගන්න බලාපොරොත්තු වෙනවා. ඒ හරහා ඉන්ධන පරිභෝජනය කිසියම් විදිහක අඩු කිරීමක් කරලා, අපේ ආර්ථිකයට ඒකෙන් එන බලපෑම කිසියම් විදිහක සමනය කිරීමක් කරගන්න අපි බලාපොරොත්තු වෙනවා.”


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *