Loading...

බොන වතුර වෙනුවෙනුත් සටන් කරන චෙල්සි වත්තේ ජනතාව

පැය විසිහතර පුරා ජලය ඉවතට ගලා යන ජල උල්පත් දෙකක් හා රුපියල් ලක්ෂ ගණනක් වැයකර ඉදිකර ඇති ගබඩා ටැංකි දෙකක්ද තිබියදී තමන් වසර ගණනාවක් තිස්සේ දැඩි පානීය ජල හිඟයකින් පීඩා විඳින බව ඇල්ල චෙල්සි වත්ත උඩ කොටසේ පදිංචි වතු කම්කරු ජනතාව පවසති.

මෙම ගැටළුව උද්ගතව ඇත්තේ වසර ගණනාවකට පෙර මෙම වතු කම්කරු නිවාසවලට ජලය සැපයූ නල මාර්ගය යම් කිසි පිරිසක් විසින් විනාශ කර දැමීමෙන් අනතුරුව යළි එය ප්‍රතිසංස්කරණය කර දීමට වතු බලධාරීන් හෝ වගකිව යුතු වෙනත් පාර්ශවයක් මැදිහත් නොවීම නිසා බව පෙන්වා දෙන ඔවුහු ඒ සම්බන්ධයෙන් මෙසේ අදහස් දැක්වූහ.

එස්. රජිනි කාන්ත් :

දැනට අවුරුදු ගාණකට පෙර අපේ ලැයිම් නිවාසවලට ඉහළ ප්‍රදේශයක තිබෙන ජල උල්පතේ සිට බට යොදා වතු කම්කරු නිවාස කිට්ටුව තිබෙන ගබඩා ටැංකිය මගින් නිවාසවලටම ජලය ලබාදීමට වතු පාලකයින් පියවර ගෙන තිබුණා. නමුත් කාලයක් යන විට කවුරුන් හෝ බට සේරම කඩාබිඳ දමමින් ටැංකියට ජලය පැමිණීමට නිතර නිතර බාධා කිරීම නිසා ප්‍රශ්න ඇතිවුණා. පසුව චෙල්සිවත්ත දෙමළ විද්‍යාලය ආසන්නයේ තිබෙන ජල මූලාශ්‍රයක් ආශ්‍රිතව තවත් ගබඩා ටැංකියක් ඉදිකළා. ඒත් ඒ ඉදිකිරීම්ද ටැංකියට පමණක් සීමාවුණා. මේ වන විට ඒ ටැංකියත් කැළෑවැදී ජරාජීර්ණ තත්වයට පත්වෙලා තිබෙනවා. මේ නිසා බොන්න වතුර නැතිව අපි ලොකු දුකක් විඳින්නේ. අපි ඉල්ලන්නේ වතු බලධාරීන් හෝ රජය මැදිහත්ව උල්පත්වල සිට ආපහු නල මාර්ග යොදා අපට පානීය ජලය ලබාදෙන්න කියලයි.  

ආර්.රම්‍යලතා:

මේ ප්‍රදේශයේ වතු කම්කරු පවුල් 85 ක් විතර මේ ජල ප්‍රශ්නය නිසා පීඩාවට පත්ව සිටිනවා. උඩහින් තිබෙන උල්පත හැරුණාම බොන්න වතුර ගන්න වෙන තැනක් නෑ. කලින් වතුර ගත්ත බට සමහරක් කඩා බිඳ දාල. ඉතිරි ඒවා හොරු ගෙනිහින්. දැන් ඒ බට කෑල්ලක්වත් හොයාගන්න නෑ. වත්තේ වැඩකරල වෙහෙස මහන්සි වෙලා ගෙදරට එන අපට විඩා නිවාගන්නවත් නෑ.වතුර ටික ගේන්නත් යන්න ඕනෑ. උල්පත් තියෙනවා. ටැංකි තියෙනවා. ඒ නිසා විධිමත් විදිහට ආපහු බට මාර්ගයක් ඉදිකරලා කලින් වගේ අපට බොන්න වතුර ටික ලබාදෙන්න කියලයි අපි ඉල්ලන්නේ.

එස්. රාජේන්ද්‍රන් :   

අවුරුදු 40 කට විතර ඉස්සර මේ ලැයිම් නිවාසවලට කිසි ප්‍රශ්නයක් නැතිව වතුර තිබුණා. මේ වතු සුදු පාලකයින් යටතේ තිබුණු කාලෙ ඉදිකරපු නල මාර්ග තිබුණා. ඒත් කාලයක් යනකොට සමහරු ඒ නල මාර්ග විනාශ කරලා ඒ උල්පත් තමන්ගේ කියල අයිතිකරත්ත නිසයි ප්‍රශ්න ඇතිවුණේ. දැන් පවුල් 85 කට විතර බොන්න වතුර නෑ. ගොඩක් අය මේ ලැයිම් නිවාස ආශ්‍රිතව තියෙන පොඩි පොඩි ළිංවලින් වතුර ගන්නවා. ඒ ළිං සෞඛ්‍යාරක්ෂිත නෑ. අපිරිසිදුයි. උඩහින් තියෙන කාණුවල වතුර ඒ ළිංවලට කාන්දු වෙනවා ඇති. ඒ වතුරේ ගඳක් එනවා. බොන්න බෑ. ඉතින් විශාල ටැංකි තිබුණට වැඩක් නෑ. බොන්න පිරිසිදු වතුර නැතිව අපි දුක් විඳිනවා.

පී. තංගම්මා :

බොන්න පිරිසිදු වතුර නැතිකම තමයි අපට තියෙන ලොකුම ප්‍රශ්නේ. ගෙවල්වලට කිට්ටුව ළිඳක් තිබුණත් ඒකෙ වතුර බොන්න බෑ. ඒකෙ පිරෙන්නෙත් වතුර බොහොම පොඩ්ඩයි. කළ දෙක තුනක් ගත්තම ආපහු පිරෙනකල් ඉන්න ඕනෑ. බොන්න වතුර ගේන්න දුරට යන්න ඕනෑ. අපි අසනීපකාරයෝ. ලෙඩදුක් ගොඩක් තියාගෙන බෙහෙත් බිබී ජීවත් වෙන්නේ. ඒ නිසා දුර ගිහින් වතුර ගේන්න බෑ. සමහරු නම් මෝටර් දාල දුරින් වතුර ගේනවා. හැමෝටම එහෙම කරන්න බෑනේ. ලක්ෂ ගණන් වියදම් කරල හැදුව ටැංකි තියන නිසා උල්පතේ ඉඳල බට දාල බොන්න වතුර ටිකක් ලබාදන්න කියලයි අපි ඉල්ලන්නේ.

සටහන – ජයලත් දිසානායක


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *