වසර කීපයකට පෙර ලොවම කැළඹූ කොරෝනා වසංගත තත්වයත් සමඟ ඇතිවූ ගැටළු හේතුවෙන් අඩපණව මේ වන විට සම්පූර්ණයෙන්ම පාහේ කඩාවැටී ඇති හාලිඇල නෙළුව ප්‍රදේශයේ මල් වගා ව්‍යාපාරය යළි නගා සිටුවීමට උපකාර කරන්නැයි එම ව්‍යාපාරයේ නිරතවූ පිරිස් රජයෙන් හා අදාළ සෙසු බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.
හාලිඇල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් නෙළුව එනසල්බැද්ද, මාලිගාතැන්න, බටවල, පට්ටියගෙදර, අඹේවෙල, කටුගහ ඇතුළු ගම් ප්‍රදේශ රැසක පවුල් සිය ගණනකගේ ප්‍රධාන ජීවනෝපාය වූයේ කැපූ මල් හා මල් පැල අලෙවි කිරීමේ ව්‍යාපාරයයි. එහෙත් කොරෝනා ව්‍යසනයත් සමඟ ඇතිවූ ගැටළු රැසක් හේතුවෙන් ඔවුනට සිය ව්‍යාපාරයන් පවත්වාගෙන යා නොහැකි තත්වයක් උද්ගතවූ බවත් එම තත්වය මත අත්හැර දමන ලද මල්පැල තවාන් හා මල් වගා මේ වන විට වල් බිහිවී සෙවණ ගෘහ හරිතාගාර ආදිය විනාශ වී යළි ගොඩනඟාගත නොහැකි තරමට මල් හා කැපූ මල් ව්‍යාපාරය කඩාවැටී ඇති බව එම ප්‍රදේශවාසී මල් ගොවීහු පවසති.
එම තත්වය මත මේ වන විට දැඩි ආර්ථික පරිහානියකට පත්ව සිටින තමන්ට එම ව්‍යාපාරයන් යළි ආරම්භ කොට ආර්ථිකය ගොඩනඟා ගැනීම සඳහා රජයේ සහ අදාළ වෙනත් පාර්ශවයන්ගේ අතහිත දීම අවශ්‍ය බව පවසන නෙළුව ප්‍රදේශයේ මල්වගාකරුවෝ ඒ පිළිබඳව මෙසේ අදහස් දැක්වූහ.
ඩබ්.එම්.ආර්. පියදාස මහතා,
“මේ නෙළුව අවට ගම් ප්‍රදේශ කීපයක පවුල් සියයක් පමණ දීර්ඝ කාලයක සිට තම ප්‍රධාන ජීවනෝපායයක් විදිහට කරගෙන ගියේ මල්පැල හා කැපූ මල් වගාව. රටේ ගොඩක් ප්‍රදේශවලට අපේ මල් වගේම මල් පැල තොග වශයෙන් අරන් ගියා. අපට හොඳ ආදායමක් තිබුණා. අපි මේ ගෙවල් දොරවල් හැදුවේ දරුවන්ට ඉගැන්නුවේ යාන වාහන ගත්තේ හැම දේම කළේ ඒ ආදායමෙන්. ඒත් පහුගිය කොරෝනා කාලේ ඇතිවූ තත්වයත් එක්ක මල් ව්‍යාපාරය සම්පූර්ණයෙන්ම බිඳවැටුණා. එදා හොඳ සාර්ථකව ව්‍යාපාර කරගෙන ගිය මල් වගාකරුවන් බොහෝ දෙනෙක් දැන් ජීවත් වෙන්න ක්‍රමයක් නැති තරමට අසරණ වෙලා. ඒ නිසා රජය මැදිහත්ව මේ මල් වගා ව්‍යාපාරය හා එය කඩාවැටීමෙන් අසරණ වූ මල්වගාකරුවන් ගැන සොයාබලා ආපහු ඒ ජීවනෝපායයන් පටන්ගන්න උපකාර කරනවානම් ලොකු උදව්වක්”
ආර්.එම්. ටිකිරිබණ්ඩා මහතා,
“ඒ කාලෙ මේ අවට ගම්මානවල මල් ව්‍යාපාරය කළ අය සිය පවුලේ සියළු අවශ්‍යතා සපුරාගෙන කිසිදු අගහිඟයකින් තොරව ජීවත් වුණා වගේම ඒ ආශ්‍රිතව රැකියා විශාල ප්‍රමාණයකුත් ඇතිවී තිබුණා. පැල තවාන් හා මල්වගාවල සේවකයින් වාහන හිමියන් රියදුරන් වගේම අපේ නිෂ්පාදන අරන් ගිහින් කුඩා පරිමාණයෙන් මල්පැල අලෙවි කරන පිරිසකුත් හිටියා. මගේ පැල තවාන්වලත් හය දෙනෙකු පමණ වැඩකළා. දැන් ඒ අයගේ රැකියා නැතිවුණා වගේම මටත් ආදායම් මාර්ගයක් නැතිව ගිහින්. මල් වගා කළ හා පැල තවාන් කළ හරිතාගාර සෙවණ ගෘහ සේරම දැන් විනාශ වෙලා. ඒ නිසා අපි රජයෙන් හා අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ අපට ආපහු ඒ තත්වයට එන්න උපකාර කරන්න කියලයි”
ඩබ්.ඒ. චන්ද්‍රලතා මහත්මිය,
“මල් ව්‍යාපාරය කියන්නේ පරිසරයට හෝ වෙනත් කිසිම ක්ෂේත්රයකට කිසිම හානියක් නැති කර්මාන්තයක්. ඒ වගේම කෘෂිකාර්මික ප්‍රදේශ වන මේ අවට ගම්මානවල කෘෂිකාර්මික අස්වැන්න වැඩිවීමටත් මීමැසි ව්‍යාපාරයටත් වක්‍රව උපකාරී වන ව්‍යාපාරයක්. මමත් අවුරුදු ගණනාවක් මල් වගාව කරගෙන ගිය කාන්තාවක්. ලංකාවේ ඕනෑම ප්‍රදේශයක වැවෙන මල් වර්ග මේ ප්‍රදේශයේ වගා කරන්න පුළුවන්. ඒත් ගැටළු රාශියක් මැද්දේ කඩා වැටුණු ඒ ව්‍යාපාරය අපට ආපහු තනිවම ගොඩනඟාගන්න අමාරුයි. අපට අවශ්‍ය ප්‍රමාණයට මල් හා මල්පැල වගාකිරීමේ හැකියාව තිබෙනවා. ඒ සඳහා වෙළඳපොළ සදා දෙන්න රජය උපකාර කළොත් ආපහු මල් ව්‍යාපාරය පටන්ගෙන රටටත් ආදායමක් එන විදිහට රජයටත් බරක් නොවී ජීවත් වෙන්න අපට පුළුවන්”
එම්.ජී. කරුණාදාස මහතා,
“අවුරුදු ගාණක් තිස්සේ අපි ජීවත් වුණේ මල් පැල අලෙවි කිරීමෙන්. අපේ තවාන්වලින් දිනකට ලොරි කීපයක් මල්පැල පිටට අරන් ගියා. ඒත් කොරෝනා වසංගතයත් එක්ක මිනිස්සුන්ගේ ආර්ථිකය කඩාවැටුණු නිසා මල් හා මල්පැල මිළට ගැනීම අඩුවුණා. ඉන්ධන හිඟය නිසා අපේ මල්පැල අරන්ගිය තොග ගැණුම්කරුවන් එන එක නැවතුණා. සමහරු ත්‍රිරෝද රථ ආදියෙන් සති පොල වැනි තැන්වල මල් පැල අලෙවි කිරීම කරගෙන ගියත් එයින් එන ආදායම ප්‍රමාණවත් නොවූ නිසා ඒවාත් නැවතුණා. මල් වගාව සඳහා අවශ්‍ය බීජ පොහොර කෘෂි රසායන ද්‍රව්‍ය ඇතුළු සියළු කෘෂි යෙදවුම්වල මිළ විශාල ලෙස ඉහළ යාම නිසා බොහෝ අයට මල් වගා හා තවාන් පවත්වාගෙන යාම අසීරු වුණා. එවන් හේතු නිසා මල්පැල ආශ්රිත ජීවනෝපායයන් සියල්ල අත්හැර දාන්න අපට සිදුවුණා. ඒ නිසා අපි අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ දැන් රට සාමාන්‍ය තත්වයට ඇවිත් තිබෙන නිසා අපට ආපහු ඒ ව්‍යාපාර පටන්ගන්න උදව් කරන්න කියලයි”
සටහන – ජයලත් දිසානායක
Leave a Reply