Loading...

ඇයට අහිමි යුක්තිය

 වසර 15කට පෙර අවසන් කල “මානුෂිය මෙහෙයුම ” වෙනුවෙන් තවමත් සව්දිය පුරන මොහොතක තවමත් යුද්ධයේ උපරිම දඩුවම විදිමින් සිටින පිරිසක් පිලිබදවයි මේ විමසුම . අප රට ගත් විට උතුරු නැගෙනහිර යනු යුද්දය දරුණු ලෙසින් පැවති පළාත් දෙකකි. එයින්ද උතුර යනු අවසන් යුද්දය දක්වාම පැවති ප්‍රදේශයක් බැවින් එහි විවිධ වූ අත්දැකීම් ගොන්නක් එහි ජනතවට විඳීමට සිදු වූහ. 2009 වසරේදී යුද්දය අවසන් වන විට උතුරේ බෙහෝ ජනතාවකට සිය ඉඩකඩම්, ගේ දොර, හරකාබාන, වස්තු දේපල මේ සෑම දෙයක්ම අහිමිව අවසානයේ ඉතිරි වූවේ හැඳිවත පමණක් වෙද්දි තවත් මිනිස් ජීවිතද රැසක් අහිමි වීම අප කාටත් ඇත්තේ අමිහිරි මතකයකි. එකී අහිමි වූ ජීවිත අතරින් පවුලක පිරිමි පුද්ගලයා අහිමි වූ පවුල් සැලකිය යුතු පිරිසක් සිටීම කාගෙත් අවධානයට යොමු විය යුතු කරුණක්ව තිබේ. එකී පවුල් අප සමාජයේ කනවැන්ඳුම් හා වැන්ඳඹු යන නාමයෙන් බොහෝ සෙයින් හඳුන්වනු ලැබූ අතර සමාජයේ පිළිගැනීම කොතෙක්දැයි යන්න පිළිබඳවද දෙවරක් සිතිය යුතුය.

 යුද්දය හා විවිධ හේතූන් නිසාවෙන් ගෙවී ගිය වසර 10 ක කාලය තුලදී උතුරේ දිස්ත්‍රීක්ක පහේ පවුල් 54,532 ක සැමියා මිය යාම හේතුවෙන් කාන්තා ගෘහමූලිකත්වයක් ඇති බවට යාපනයේ කාන්තා සංවර්ධන මධ්‍යසථානය විසන් කරන ලද සමීක්ෂණයකින් පෙන්වා දෙයි.

එම සමීක්ෂණයන්ට අනුව මෙලෙස දිස්ත්‍රීක්ක වශයෙන් වෙන් කොට ඇත.


දිස්ත්‍රීක්කය
වැන්ඳඹු කාන්තාවන් ගණන
යාපනය    29,378
වව්නියාව      5802
මන්නාරම්       6888
මුලතිව්      6294
කිලිනොච්චිය      6170

මෙලෙස ගත්කල උතුරේ වැඩිම වැන්ඳඹු කාන්තාවන් ප්‍රමාණයක් ජීවත්වන්නේ යාපනය දිස්ත්‍රීක්කයේය. මේ වන විටත් උතුරේ වැන්ඳඹු කාන්තාවන්ට මුහුණ දීමට සිදුව ඇති ගැටලු රැසකි. ආර්ථිකමය, සමාජීය සහ යටිතල පහසුකම් මගින් බැටකන මේ කාන්තාවන්ගේ ගැටලු සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු බලධාරියෙකුගේ ඇස නොගැටීමද බරපතල කාරණාවක් වී ඇත.

යුද්ධය අවසන් වී වසර 15ට පසුවත් උතුරේ වැන්දඹුබාවයට පත් කාන්තාවන්ට මෙතෙක් රජයෙන් හෝ රාජ්‍ය නොවන සංවිධානයන්ගෙන් කිසිදු ආධාරයක් හෝ වන්දියක් නොලැබී ඇති අතරම තමන්ගේ ආර්ථිකයට මේ වන විට දැඩි බලපෑමක් එල්ල වී ඇති බවට උතුරේ වැන්දඹු කාන්තාවන් කියා සිටිති. යුද සමයේදී බෝම්බ ප්‍රහාරයන්ට හා වෙඩි ප්‍රහාරයන්ට ලක්ව සිය සැමියා මිය ගොස් ලොකු කාලයක් ගත වුවද මියගිය සැමියන්ගේ වැන්ඳඹු කාන්තාවන් වෙනුවෙන් මෙතෙක් විධිමත් වැඩපිළිවලක් කිසිදු පාර්ශවයක් විසින් ක්‍රියාත්මක නොකරන බවට උතුරේ බොහෝ වැන්ඳඹු කාන්තාවන් කියා සිටිති. එමෙන්ම සිය පවුලේ සම්පූර්ණ බර කරට ගැනීම මත ඇතම් කාන්තාවන් දිනය පුරා නිවසෙන් බැහැරව සිටීම මත දරු දැරියන්ගේ අධ්‍යාපන කටයුතු මෙන්ම නිවසේදී සිදු කෙරෙන ක්‍රියාකාරකම්ද සම්පූර්ණයෙන්ම බිඳවැටී ඇති හෙයින් තමන් දැඩි අසරණ තත්වයකට මුහුණ පා සිටින බවටද එම වැන්ඳඹු කාන්තාවන් කියා සිටිති. ඊට අමතරව වැන්ඳඹුබාවයට පත් කාන්තාවන්ගෙන් වයෝවෘද්ධ තත්වයට පත් කාන්තාවන් මෙම වාතාවරණය තවත් බරපතල වී ඇති අතර ඇතැම් වයෝවෘද්ධ වැන්ඳඹු කාන්තාවන් සිය ජීවිකාව කර ගැනීමට නොහැකිව දෛනික ආර්ථිකයක් නොමැතිව දැඩි අසරණ තත්වයකට පත්ව සිටීමටද සැලකිය යුතුය.

මේ සම්බන්ධයෙන් උතුරේ වැන්ඳඹු කාන්තාවන් විසින් උතුරේ පිහිටි ප්‍රාදේශීය සභාවේ සිට පාර්ලිමේන්තු මැති ඇමතිවරුන් දක්වාම දැනුම් දී ඇතත් කිසිදු සහනයක් නොලැබී ඇති අතර ම යම් සහනයක් කෙදින‌ක හෝ ලැබෙන්නේ යැයිද මේ ජනතාව බලාපොරොත්තුවෙන් සිටිති.

යුද්දයෙන් පසුව උතුරේ වැන්ඳඹූ කාන්තාවන් සම්බන්ධයෙන් එවකට උතුරු පලාත් සෞඛ්‍ය අමාත්‍ය වරයා වශයෙන් කටයුතු කල වෛද්‍ය පී.සත්‍යලිංගම් මහතා මාධ්‍යට පවසා සිටියේ.

‘යුද්ධය හේතුවෙන් වැන්ඳඹු භාවයට පත් කාන්තාවන් යුද්ධයෙන් පසුව වසර ගණනක් උතුරු පළාතේ සිටින නමුත් නිලධාරීන්ගේ හිගයත්, මුදල් ප්‍රතිපාදන නොමැතිකම නිසාත් එම කාන්තාවන්ගේ ජීවන තත්ත්වය ඉහල ගොස් නැහැ

වැන්දඹු කාන්තාවන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් කටයුතු කිරීමට පළාත් සභාවන්ට ඒ් කාලයේ මුදල් වෙන්වුනේ නැහැ. 2015 වසරේදීත් එම කටයුතු සදහා අවශ්‍ය වූ රුපියල් මිලියන 12 ක මුදලක් ලබාගත්තේ උතුරු පළාත් සභාවට වාහන මිලට ගැනීමට තිබුණු මුදල් වලින්.

මුදල් ප්‍රතිපාදන නොලැබීමට අමතරව වැන්දඹු කාන්තාවන් උදෙසා සේවය කිරීමට ප්‍රමාණවත් නිලධාරීන් පිරිසක්ද උතුරු පළාත්සභාව තුළ නොමැති බව කී සත්‍යලිංගම් වෛද්‍යවරයා එවැනි නිලධාරීන් පිරිසක් බදවා ගැනීමට මධ්‍යම රජයෙන් පියවර ගත යුතුයි.

යුද්ධයේදී වැන්දඹු කාන්තාවන් බවට පත්ව සිටින පිරිසෙන් බහුතරයක් ආබාධිත හෝ විකලාංග තත්ත්වයට පත්ව සිටින බැවින් ඔවුන්ට කවරෙකුගේ හෝ රැකවරණයක් ආධාරයක් අවශ්‍යව ඇති බවත් කිසිදු ආදායමක් නොමැති යුද වැන්දඹුවන්ට ඇතැම්විට ජීවත්වීම පිණිස කුමන හෝ රැකියාවක් කිරීමට සිදුව ඇති වගද මෙම තත්වය මත උතුරේ වැන්ඳඹු කාන්තවන් ගැටලු රැසකට මුහුණ පා සිටින බවටද හෙතම වැඩිදුරටත් අවධාරණය කළේය.

මුලතිව් දිස්ත්‍රීක්කයේ වැන්ඳඹු කන්තා සමිති සංගමයේ සාමාජිකාවන් පිරිසක් සිය ගැටලු සම්බන්ධයෙන් කියා සිටියේ මෙවැන්නකි.

‘ මුලතිව් දිස්ත්‍රීක්කයේ යුද්දය නිස වගේම විවිධ හේතුන් නිසා මිය ගිය අයගේ කන්තාවන් ඉන්නවා නමුත් අප වෙනුවෙන් ඉදිරිපත් වෙන කිසිම කෙනෙක් මේ වෙනකම් නැහැ . අපේ දරුවන් වෙනුවෙන් හැම දේම අපටයි කරන්න වෙල තියෙන්නේ උදේම රැකියාවක් සඳහා හරි කුලී වැඩක් වෙනුවෙන් හරි නිවසින් පිටවෙන අපි ආපහු එන්නේ රෑ වෙලා නමුත් ඒ වෙනකම් අපේ දරුවොන්ගේ වගකීම ගන්න කවුරුත් නැතිව අපේ බොහෝ දෙනෙකු දැඩි අසරණතාවයට පත්වෙලා.

දරුවන්ගේ අධ්‍යාපනය කඩා වැටිලා, දරුවන් අමතර පංතියකට යවාගන්න විදහක් නැහැ, අපි රැකියාවකට ගියත් කාන්තවන් විදිහට අපිට මුහුණ දෙන්න වෙලා තියෙන ගැටලු, ඒ වගේම තමයි සැමියා නැති අපි දිහා සමාජය බලන්නේ අමුතුම කෝණ වලින් , ඒ ගැන පිහිට වෙන්න අපිට කව්රුත් නැහැ.

‘යම් හෙයකින් අපට ලිංගික අඩත්තේට්ම් වූ අවස්ථාවක සැමියෙක් නැතිව අපි කොහොමද පොලීසියකට ගිහින් ඒ ගැන කියන්නේ කියන බිය අපේ බොහෝ කාන්තාවන්ට තියන ගැටලුවක් , තවත් අතකින් පොලීසියකට ගියා කියමු පොලීසියෙන් අහන ප්‍රශ්න වලින් වෙන අපහසුතාවයන් නිසාම බොහෝ කාන්තාවන් ඔවුන්ගේ ප්‍රශ්න කියන්න පසුබට වෙලා. මේ ප්‍රශ්න වලට කොහොම විසඳුම් ලැබෙයිද කියල අපි දන්නේ නැහැ.

මේ ආකාරයට උතුරේ බොහෝ වැන්ඳඹු කාන්තාවට සිදුව ඇති අසාධාරණයන්, අපහසුතාවයන් පිළිබඳව සොයා බැලීමට යම් නිලධාරීන් පිරිසක් පත්කල යුතු බවට බොහෝ දෙනෙකුගේ මතය වී ඇත. නමුත් මේ පිළිබඳව සොයා බලන්නේ කව්රුන්දැයි යන්න දැන් දැන් කාටත් ගැටලුවක් වී ඇත. යුද්ධය නිසා ගෘහමූලික කාන්තාවන් වන්නට සිදුවුණු සියලුම කාන්තාවන් වෙත ඔවුන්ගේ සැබෑ අවශ්‍යතාවන්වලට අනුව බලධාරීන් විසින් යුක්ති ඉෂ්ඨ කිරීම ඔවුන් අපේක්‍ෂා කරන සාධාරණයයි. වැන්ඳඹු කාන්තාවන් අප සමජය විසින් කොන් කිරීමට පෙර ඔවුන් ආරක්ෂා කළ යුතු ක්‍රියාවක් කඩිනමින් ක්‍රියාත්මක විය යූතුය. එසේ නොවන්නට අතීත යුද්දයට වඩා අඳුරු අනාගතයකට මුහුණ දීමට සිදුවනු නොඅනුමානය.

සටහන – රොමේෂ් මදුශංක

What is your reaction?

Loading spinner

Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *