Loading...

දර කරත්තයක රවුමක්

ශතවර්ෂ ගණනාවක් පුරා ශ්‍රී ලංකාවේ ප්‍රවාහන හා සංස්කෘතික ව්‍යුහය තුළ කරත්ත ප්‍රධාන කාර්යභාරයක් ඉටු කර ඇති අතර එය දිවයිනේ පොහොසත් උරුමය සහ දක්ෂතාවය පිළිබඳ සාක්ෂි දරයි . ශ්‍රී ලංකාවේ කරත්තවල මූලාරම්භය ක්‍රිස්තු පූර්ව 3 වැනි සියවසත් ක්‍රිස්තු වර්ෂ 13 වැනි සියවසත් අතර සමෘද්ධිමත් වූ ඉපැරණි අනුරාධපුර සහ පොළොන්නරු රාජධානි දක්වා දිව යයි. මෙම ස්වර්ණමය යුගවලදී, ගොන් කරත්ත හෝ දේශීයව හැඳින්වූ “හක්කලිය” එදිනෙදා ජීවිතයේ අනිවාර්ය අංගයක් විය. ගවයන් හෝ මී හරකුන් ලවා අදින ලද මෙම ශක්තිමත් ලී කරත්ත විසින් භාණ්ඩ, කෘෂිකාර්මික නිෂ්පාදන දිවයිනේ රළු භූමි ප්‍රදේශය හරහා පවා ප්‍රවාහනය සඳහා භාවිතා කරන ලදී.

සාම්ප්‍රදායික ශ්‍රී ලාංකේය ගොන් කරත්තයේ සැලසුම සරල බවේ සහ ප්‍රායෝගිකත්වයේ විස්මිත නිර්මාණයක් විය. තේක්ක සහ කොස් ලී වැනි දේශීය මූලාශ්‍රවලින් සාදන ලද මෙම කරත්තවල විශාල ලී රෝද දෙකක්, ලී වේදිකාවක් හෝ කරත්ත බඳක් සහ කෙටුම්පත් සතුන් සවි කිරීම සඳහා ලී කණුවක් ඇතුළත් විය. මෙම කරත්ත අලංකාර කරන ලද සංකීර්ණ කැටයම් සහ විචිත්‍රවත් සිතුවම් සෞන්දර්යාත්මක ආකර්ෂණයක් එක් කරනවා පමණක් නොව, දිවයිනේ පොහොසත් සංස්කෘතික උරුමය සහ ශිල්පීන්ගේ දක්ෂ ශිල්පීය හැකියාවන් ද පිළිබිඹු කරයි.

දිවයිනේ කෘෂිකාර්මික අංශය සමෘද්ධිමත් වූ විට, අස්වැන්න නෙළන ලද භෝග කෙත්වල සිට ගමට සහ වෙළඳපොළට ප්‍රවාහනය කිරීම සඳහා ගොන් කරත්ත අත්‍යවශ්‍ය විය. ඔවුන් දිවයිනේ විවිධ භූ දර්ශන හරහා භාණ්ඩ හා වෙළඳ භාණ්ඩ ප්‍රවාහනය කිරීමට ඉඩ සලසමින් අභ්‍යන්තර වෙළඳාම සහ වාණිජ කටයුතු සඳහා පහසුකම් සැලසූහ. ග්‍රාමීය ප්‍රදේශවල, මෙම කරත්ත පවුල් සඳහා ප්‍රවාහන මාධ්‍යයක් ලෙස සේවය කළ අතර, ඔවුන් ප්‍රාදේශීය වෙලඳපොලවල්, ආගමික උත්සව සහ සමාජ රැස්වීම් සඳහා රැගෙන ගියේය.

නගරයෙන් එපිට ගම්බද ජනතාව අතීතයේ සිට සිය ආහාර පිසීම, ජලය උණුකර ගැනීම ආදිය සිදුකර ගත්තේ කැලෑ දර භාවිතයට ගනිමිනුයි. සමහරුන් කැලෑවට වැදී දර ඉපල් සොයාගෙන තම අවශ්‍යතාවයන් ඉටුකර ගත්තේය. තවත් සමහරෙක් සිය ජීවනෝපාය සදහා දර විකිණීම සිදු කලේය. එසේ දර අලෙවි කලේ ගොන්නුන් යොදාගෙන සකසන ලද කරත්තයක ආදාරයෙනුයි. එසේ දර කරත්තවලට වියලුව කොට්ඨාශය අතීතයේ සිටම නම් දරා තිබුණි. 

මීට වසර තිහ හතලිහකට ඉහතදී මෙම දර කරත්ත බදුල්ල මහියංගණ මාර්ගයේ ඉතා සුලභ මෙන්ම සුන්දර දසුනක් බවටද පත්ව තිබුණි.

සවස් කාලයේදී එක පෙලට ගමන් ආරම්භ කරමින් කිලෝ මීටර් 20ක් පමණ දුර ගෙවාගෙන පහුවදා උදෑසන බදුල්ල නගරයට පැමිණෙන මෙම දර කරත්ත සවස් කාලය වනතෙක්ම ගම්මාන තුලට යමින් දර විකිණීමේ නිරතව තිබෙනවා. ගොනාගේ ගෙජ්ජි හඩ ඒ දවස් වල ගම්මුන්ට හොදට හුරු පුරුදුය.  

බදුල්ල දිස්ත්‍රික්කයේ මීගහකිවුල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් තල්දෙන හා ඒ අවට විශාල පිරිසක් මෙම දර කරත්ත රස්සාව කර තිබේ. තල්දෙන 13 කණුව ගම්මානයේ ජීවත්වන ඩී.එම්. ලොකුබණ්ඩා මහතා අදටත් දර විකිණීම කරත්තයක නැගී සිදුකරයි. ලොකුබණ්ඩා මහතා පවසන ආකාරයට දැනට ඇති එකම දර කරත්තයද මෙය බවයි පවසන්නේ.

ඩී.එම්. ලොකුබණ්ඩා මහතා අදහස් දක්වමින්,

“මීට අවුරුදු 40කට පමණ ඉහතදී දර කරත්ත 108ක් තිබුණා. ඒ හැම දෙනාටම හොදට බිස්නස් එකත් තිබුණා. හැබැයි පසුකාලයේදී නානාප්‍රකාරයේ ඉවුම් පිහුම් වගේ දේවල් මිනිස්සු අතට එනකොට අපේ දර අමතක වුණා.

ඒ දවස් වල අපි හරිම විනෝදෙන් වගේම රස්සාවට ආදරයෙන් වැඩ කලා. හවස් යාමයේ ගොන්නු බැදගෙන බදුල්ලට ගමන් ආරම්භ කරනවා. කොහොමත් දුංහිද කන්ද නගිනකොට මධ්‍යම රාත්‍රියට ලංවෙනවා. ඉතිං අපි ලන්තෑරුම් පත්තු කරගෙන තමයි රාත්‍රියේදී ගමන එන්නේ. ඒ ඇවිත් දුංහිද කන්ද නැගලා පාරෙම අපි බුදිය ගන්නවා. ඒ කරත්තය යටට වෙන්නයි. ගොන්නු ලිහලා උන්ට කන්න දෙයක් දීලා අපිත් රෑට සප්පායම් වෙලා පොඩ්ඩක් ඇහැ පියා ගන්නවා. ඊට පස්සේ පාන්දර අවදිවෙලා නැවත වරක් ගොන්නු කරත්තයට ගැට ගහලා බදුල්ලට එන්න පිටත් වෙනවා.

මොකද මේ එක ගොනෙක් කරත්තයේ පිටුපස ගැටගහගෙන එන්නේ. ඒ අපිට තිබුණු ප්‍රශ්ණයක්.

ඒ තමයි තණ්ඩල් ගොනා. මෙයාව මේ විදිහට බැදගෙන එන්නේ එයාට මේ රස්සාව පුරුදු කරන්නයි. ඒ වගේම දුංහිද කන්ද නගින්න ලංවෙනකොට තණ්ඩල් ගොනත් කරත්තය ඉස්සරහින් බදිනවා. එහෙම තමයි කරත්තය අදින්නේ. අපි ආසාවෙන් එදා ඉදන් මේ රස්සාව කරාට එය හිතන තරම් සුන්දර නැහැ.

කොහොම උනත් එදා කරත්ත 108ක් තිබුණට අද ඉතුරුවෙලා ඉන්නේ මං විතරයි. ගෑස් ලිප් ආවාම ටික දෙනෙක් මේ රස්සාවෙන් අයින් වුණා. කරන්ට් ලිප් ආවාම තව පිරිසක් අයින්වුණා. ඒ අය හරක් ටික විකුණලා දැම්මා. මට ඒ දේ කරන්න බැහැ. මට සහ මගේ පවුලේ අයගේ බඩ ගෝස්තරේට උදවු කරපු සතාව මම කාටවත් විකුණන්නේ නැහැ.

අතීතයේ හැමදාම වගේ අපේ ජීවිත ගෙවුනේ මහ පාරේ. ඒ දවස් වල රාත්‍රී කාලයේ සිදුවෙච්ච සිදුවීම් මතක් වෙනකොට අදටත් ඇග හිරි වැටෙනවා. හොල්මන් නැහැ කිවුවට සමහරුන් පිළිගත්තේ නැතිවුනාට මම ඒ අත්දැකීමට මුහුනදීලා තියෙනවා. 

පහුගිය කොරෝනා කාලයේදී තමයි අපේ මේ රස්සාව හොදටම කඩා වැටුණේ. එතකොට කරත්ත කිහිපයක් තිබුණා. හැබැයි කොරෝනා නිසා ඒ අයත් හරක් ටික විකුනලා දැම්මා. මම මැරෙනකම් මේ රස්සාව කරනවා. මට බැහැ මේ දරුවා වගේ ඉන්න සතාව මස් කඩේට විකුණන්න.

දැන් දර කරත්තයක ගේන දරටික විකුණගන්නත් අමාරු තත්වයකයි තියෙන්නේ. නමුත් බේකරි වලට තවමත් අපෙන් දර ගන්නවා. 

දැන් මේ රස්සාව කරන්න බැරි හේතු ගොඩයි. හරක්ගේ ලාඩම් ගහන්න මිනිස්සු නැහැ. කරත්තය හදන්න මිනිස්සු නැහැ. ඉතින් මගෙන් පස්සේ මම හිතන්නේ ආයෙත් මහියංගණ බදුල්ල පාරේ දර කරත්තයක් දකින්න නැතිවෙයි.

අපි අද කරත්තය අරගෙන සීපදයක් එහෙම කියාගෙන එනකොට බොහෝ පිරිස් කරත්තය බලන්න පාරට එනවා. ඒ එන අය අතරේ ඉන්න කුඩා දරුවෝ හරක්ට කන්න පවා දෙනවා.

නමුත් කියන්න තියෙන්නේ මේ රටේ පාලකයින් එකදු කෙනෙක්වත් මේ අපේ රස්සාව දිහා ඇහැක් ඇරලා බැලුවේ නැහැ. එය කනගාටුවට කරුණක් ” 

නවීකරණය හමුවේ වුවද ශ්‍රී ලංකාවේ සංස්කෘතික අනන්‍යතාව තුළ තම වැදගත්කම රඳවා ගැනීමට ලොකුබණ්ඩ මහතා වැනි ය උත්සහ කරනු දැක ගත හැක . නාගරික ප්‍රදේශ වල මෙම දර කරත්ත භාවිතා නොවුනත් තවමත් ඉහතාකරයටම ග්‍රාමීය ප්‍රදේශ වල දර කරත්ත පෝලිමක් ඉදහිට දැක ගැනීමට පුළුවන. කෙසේ නමුත් දිවයිනේ කෘෂිකාර්මික උරුමයේ සහ සාම්ප්‍රදායික ජීවන රටාවේ සංකේතයක් බවට පත්ව තිබෙන මෙම පැරණි ප්‍රවාහන ක්‍රමය ආරක්ෂා කිරීමට සහ ප්‍රවර්ධනය කිරීමට පියවර ගැනීම වටිනේය . මන්ද සමහර ප්‍රදේශ වල ගොන් කරත්ත සවාරි අද්විතීය සංචාරක අත්දැකීමක් ලෙස ලබා ගැනීමට තිබෙන ඉහල ඉල්ලුම සහ අපේ රටේ සියවස් ගණනාවක ඉතිහාසයේ අත්දැකීම පැමිණෙන දෙස් විදෙස් සංචාරකයින්ට ලබා දීමට අවස්ථාවක් ලැබීමත්ය යන කාරණා . කොහොම නමුත් සංස්කෘතියත්, ජන වහරත් , ජන ගීයත් , ගැමි පරිසරයත් සමග බද්ධව අපටත් නොස්ටල්ජියාවක් ගෙන එන හිරු නැගෙන පාන්දර ජාමයේ මුළු නඩයම එක පේලියට එන දර කරත්ත දර්ශනය රැකගැනීම නම් වටිනේය .

සටහන – ජයලත් දිසානායක


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *