බටහිර වෙරළ තීරය ඛාදනය වන්නට පටන් ගත්තේ මීට වසර 15 කට පමණ පෙරදීය.“මාඔයේ” මෝය කටට උතුරින් ඇති වයික්කාල – කම්මල ප්‍රදේශයේ ආරම්භ වූ වෙරළ ඛාදනය මේ වන විට හලාවත නගරය ආසන්නයටම පැමිණ ඇත.
වෙරළ ඛාදනය සිදුවූ වෙරළ තීරයේ තිබූ නිවාස රැසක් මුහුදට ගසා ගෙන ගියේය.මේ නිසාම මාරවිල – ලංසිගම ප්‍රදේශයේ වෙරළ ආසන්නයේ පදිංචිව සිටි පවුල් රැසක් රජයේ ඉඩමක නිවාස ඉදිකර පදිංචිකරවන්නට එවකට පැවති රජයට සිදුවිය.
වෙරළ ඛාදනය පාලනය කිරීම සදහා සාමාන්‍යයෙන් සිදු කරණු ලබන්නේ ගල් වැටි යෙදීමය.මෙම ගල් වැටි යෙදීමේදී වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අනුගමනය කරන ක්‍රමවේදය පිළිබදව ප්‍රදේශයේ ධීවරයින්ගේ ඇත්තේ නොසතුටකි.ධීවරයින් සදහන් කරන්නේ “තිරස්” අතට ගල් වැටි යොදා ගැඹුරු මුහුදේදී නැවත වතාවක් “හරස්” අතට (T) යෙදීමෙන් පමණක් වෙරළ ඛාදනය පාලනය කිරීමේ හැකියාව පවතින බවය.
නමුත් වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කියා සිටින්නේ වෙරළ තීරය තුළ “සිරස්” අතට ගල් වැටි යෙදීමෙන් පමණක් ඛාදනය අවම කර ගත හැකි බවය.මේ ආකාරයට ධීවරයින් සහ නිලධාරීන් තොප්පිය දෙපැත්තට විසි කිරීමේ වාසිය හිමි වන්නේ සිත් පිත් නැති මහ මුහුදටය.
මුහුදේ රළ ගමන් කරන්නේ උතුරු දිසාවට බවත්,දකුණේ ඇති ගංගා වලින් මුහුදට ප්‍රමාණවත් තරම් වැලි නොලැබුණු විට උතුරු වෙරළ තීරය ඛාදනය වීම සිදු වීම සාමාන්‍ය දෙයක් බව වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ මතය වී ඇත.පසුගිය කාලයේ මාඔයෙන් අසීමිත ලෙස වැලි ගොඩ දැමීම නිසා මුහුදට අවශ්‍ය ප්‍රමාණයට වැලි නොලැබුණු බව ඔවුන් සදහන් කරයි.මාඔයෙන් උතුරු කොටස ඛාදනය වන්නේ එම හේතුව නිසා බවද ඔවුන් සදහන් කරයි.
පසුගිය කාලයේ වෙරළ ඛාදනය බහුලව සිදුවූයේ මුහුද රළු “වාරකන්” සමයේදීය. නමුත් දැන් වසර දෙකක පමණ කාලයක සිට වෙරළ ඛාදනය සිදු වන්නේ මුහුද නිසල “වළාල” සමයේදී වීම විශේෂත්වයකි.කොළඹ වරාය නගරය හෙවත් “පෝට් සිටි” ව්‍යාපෘතිය මෙම තත්ත්වයට හේතුව බව පරිසරවේදීන් මෙන්ම ධීවරයින්ද සදහන් කරයි.නමුත් රජයේ නිලධාරීන් එම චෝදනාව ප්‍රතික්ෂේප කර සිටී.
දැන් අපි අපේ කථාවට යමු.
මේ දිනවල වෙරළ ඛාදනය සිදු වන්නේ හලාවත ඉරණවිල ප්‍රදේශයේය. තොඩුවාව මෝය කටට උතුරින් වූ වෙරළ තීරය පසුගිය වසරේදී දැඩි ලෙස ඛාදනය වන්නට විය.එම වෙරළ තීරයේ ඉදි කර තිබූ නිවාස 03 ක් සම්පූර්ණයෙන්ම මුහුදට ගසා ගෙන ගියේය.
මෙම වෙරළ තීරයට සමාන්තරව ඇති හලාවත සිට වෙන්නප්පුව – නයිනමඩම දක්වා වන කාපට් ඇතිරූ මාර්ගයටද විටින් විට මුහුදු රළ ගලා ගෙන එන්නට විය.මාර්ගයට හානි කරමින් මුහුද ගම තුළට කඩා වදී යන බිය එදා ප්‍රදේශයේ ධීවරයින්ට තදින්ම දැනෙන්නට විය.මේ නිසා ඔවුන් විසින් අවස්ථා කීපයකදී විරෝධතාවයන්,යාඥා මෙහෙයන්ද සිදු කරමින් තම වේදනාව කියා සිටියේය.
එක් අවස්ථාවන ගම්වාසීන් විසින් වෙරළ තීරය තුළ දැවැන්ත වැලි කොට්ට යෙදීමටද කටයුතු කරන ලදි.ඒ වෙරළ කඩා ගෙන විත් කාපට් අතුරා ඇති මාර්ගයට හානියක් සිදු වේවි යැයි යන බිය නිසාය.
දින කීපයක සිට ඉරණවිල වෙරළ තීරය නැවත වතාවක් ඛාදනය වන්නට පටන් ගෙන ඇත.මෙම තත්ත්වයට කඩිනමින් පිළියමක් යොදන ලෙස ඉල්ලමින් ප්‍රදේශයේ ආගමික නායකයින් සහ ධීවරයින් වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජනරාල්වරයාව 05 වතාවක් හමුවීමට ගොස් ඇත.ඒ සෑම අවස්ථාවකදීම අධ්‍යක්ෂක ජනරාල්වරයා පවසා ඇත්තේ කඩිනමින් ගල් වැටි යොදා වෙරළ තීරය ආරක්ෂා කර දෙන බවය.
එම පොරොන්දුව සාක්ෂාත් කරමින් වෙරළ තීරයට යොදන්නට විශාල ප්‍රමාණයේ කළු ගල් මේ වන විට ඉරණවිල ප්‍රදේශයට ගෙනවිත් දමා ඇත.නමුත් ගල් වැටි යෙදීම ක්‍රමවත් ආකාරයට සිදු නොවන බවට ප්‍රදේශවාසීන් චෝදනා කරයි.
“මුහුද ගැන දන්නේ අපිනෙ.ඒ නිසා තමයි අපි වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජනරාල් තුමාට කිව්වේ ගල් වැටි යොදන කොට අපෙන් අහන්න.අපි උදව් කරන්නම් කියලා.එතුමා ඒ යෝජනාවට එකග වුනා.නමුත් සිද්ධ වෙන්නේ වෙනම දෙයක්.නිලධාරීන් ඇවිත් වැඩ කරන්නේ අපිත් එක්ක කිසිම කථා බහක් නැතිව.මේ විධියට ගියොත් සිද්ධ වෙන්නේ වෙරළ තීරය තවත් කැඩි කැඩී ඉදිරියට යන එකයි.ඒ විතරක් නෙමෙයි හලාවත – නයිනමඩම පාරත් වැඩි දවසක් යන්න පෙර මුහුදට ගසා ගෙන යනවා……”ඉරණවිල පාරම්පරික ධීවරයෙකු වන අන්තෝනි මහතා කියා සිටියේය.
හලාවත පදවියේ සෙඩෙක් ආයතනයේ අධ්‍යක්ෂක ඩිලාන් මේරියස් පියතුමන්ද සිදුවන විනාශය පාලනය කර ගැනීම සදහා ප්‍රදේශවාසීන් සමග පසුගිය වසරේ සිට එකතුවී වැඩ කටයුතු කරති.
“මේ වෙන කොට අපි වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරයාව හමු වෙන්න පස් (05) වතාවක් ගිහිං තියනවා.රුපියල් 50,000 ක් විතර වියදම් කරලා ඇති.නමුත් කිසිම සෙතක් වෙලා නෑ.එහෙම කරමු.මෙහෙම කරමු කියලා විතරක් කියනවා.නමුත් සිද්ධ වෙන්නේ වෙනත් දෙයක්.ධීවරයා කලබල වුනොත් පාලනය කර ගන්න අමාරුයි.ඒ නිසා තමයි ආගමික නායකයින් හැටියට අපි මේ වැඩේට මැදිහත් වෙලා ඉන්නේ.
වියදම් කරන මුදලින් ප්‍රයෝජනයක් වන ආකාරයට ගල් වැටි යොදන්න කියන කාරණය තමයි අපි කියන්නේ.එහෙම නැතිව අපිට ඕනා ආකාරයට වැඩේ කරන්න කියලා නෙමෙයි.ධීවරයාට තියන අත්දැකීම් එක්ක තාක්ෂණික දැණුමත් එකතු කර ගත්තාහම හොද දෙයක් කරන්න පුළුවන් කියන එකයි අපේ අදහස.” ඩිලාන් මේරියස් පියතුමන් කියා සිටියේය.
“ඉරණවිල වෙරළ තීරය ආරක්ෂා කරන්න ගල් වැටි 08 ක් යොදන්න අපි යෝජනා කලා.නමුත් රජය මුදල් අනුමත කරලා තියෙන්නේ ගල් වැටි 03 ක් සදහා පමණයි.එම ගල් වැටි දාන්න මේ වෙන කොට අවශ්‍ය කළු ගල් ගෙනවිත් තියනවා.අපිට ඉහළින් ලැබෙන උපදෙස් මත තමයි වැඩ කරන්න වෙන්නේ. පසුගිය 22 වැනිදා මෙම ව්‍යාපෘතිය බාර ඉංජිනේරු මහත්තයා ඇවිත් වැඩේ කළ යුතු ආකාරය ගැන අපිට උපදෙස් දීලා ගියා.අපි ඒ උපදෙස් අනුව කළු ගල් වැටි යෙදීම කරනවා.එහෙම නැතිව අපි හිතුවක්කාර විධායට නෙමෙයි මේ ගල් වැටි යෙදීම සිදු කරන්නේ.ලබන වෙසක් පෝයට කලින් මේ ගල් වැටි යොදා අවසන් කරන්න තමයි අපි උත්සාහ කරන්නේ……” ඉරණවිල වෙරළ ඛාදනය පාලනය කිරීමේ ගල් වැටි යෙදීමේ ව්‍යාපෘතිය බාර තාක්ෂණික නිලධාරීවරයා අප සමග කියා සිටියේය.
නමුත් ප්‍රදේශයේ ධීවරයින් කියා සිටිනේ මැයි මාසයේ ආරම්භක සතිය වන විට මුහුද රළු වන බවයි.ඒ අනුව වාරකන් සමය ආරම්භ වීමෙන් පසුව වෙරළ ආරක්ෂා කිරීම සදහා ගල් වැටි යෙදීම සිදු කළ නොහැකි කරුණක් බවය.ඒ නිසා කරන දෙයක් ඉක්මනින් කළ යුතු බවය.
වසර දහයකට වැඩි කාලයක සිට බටහිර වෙරළ තීරය ඛාදනය වන බව මෙම ලිපියේ පෙර සදහන් කර ඇත.නමුත් තවමත් මේ වෙරළ ඛාදනය පාලනය කිරීම සදහා ස්ථීර විසදුමක් සෙවීමට වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවට හැකියාවක් ලැබී නැත.බටහිර වෙරළ ඛාදනය කියන්නේ තවත් හිගන්නාගේ තුවාලක්ද යන්න සිතා ගත නොහැකිව අපද ඒ දෙස බලා සිටිමු.
සටහන – ජූඩ් සමන්ත
Leave a Reply