2024.03.15 දින සිදු කරන ලද දෙවන අයදුම් පත්‍ර කැඳවීමට අනුව ලිට්රෝ ගෑස් ලංකා (Litro Gas Lanka Ltd-LGL) හා ලිට්‍රෝ ටර්මිනල් ( Litro Gas Terminals Pvt. Ltd – LGT) ආයතනය මිලදී ගැනීමට ආයෝජකයන් දාහතර දෙනකු කැමැත්ත ප්‍රකාශ කර තිබේ. එම යෝජනා කැබිනට් මණ්ඩලය විසින් පත්කරන ලද විශේෂ සාකච්ඡා කමිටුවෙන් නම් කරන ලද ආරම්භක කමිටුව විසින් සලකා බලා හමාරය.
ලිට්රෝ සමාගම මිලට ගැනීමට කැමැත්ත පළ කර ඇති ආයෝජකයන් අතර දේශීය සමාගම් හතරක් මෙන්ම විදේශීය සමාගම් බොහොමයක් සිටිති. ඉන්දියාව සිංගප්පූරුව එක්සත් එමීර් රාජ්‍යය,මැලේසියාව මෙන්ම තුර්කිය හා තායිලන්තය ද ඒ අතර වේ. එසේ අයදුම් කර ඇති ආයෝජකයින් මෙසේය.
01. Epdesa Pte Ltd, සිංගප්පූරුව
02. භාරත් පෙට්‍රෝලියම් කොප්, ඉන්දියාව
03. Ayaz Anonim Sirketi, තුර්කිය
04. SiamGas සහ Petrochemicals Public Company Limited, තායිලන්තය
05. BGN Int DMCC, එක්සත් අරාබි එමීර් රාජ්‍යය
06. Confidence Petroleum India Limited, ඉන්දියාව
07. OQ Trading Limited, එක්සත් අරාබි එමීර් රාජ්‍යය
08. Tristar Group, එක්සත් අරාබි එමීර් රාජ්‍යය
09. ලාෆ්ස් ගෑස් PLC, ශ්‍රී ලංකාව
10. යුනයිටඩ් පෙට්‍රෝලියම් හෝල්ඩින්ග්ස්, මැලේසියාව
11. Vitol Asia Pte Ltd, සිංගප්පූරුව
12. Infinity NGC, Sri Lanka, ශ්‍රී ලංකාව
13. China National Aero Techno, ශ්‍රී ලංකාව
14. Consulting Engineers & Contractors, ශ්‍රී ලංකාව
මෙම ආයතන බොහොමයක් ශ්‍රී ලංකාවට මූල්‍ය ශක්තියක් සැපයිය හැකි ආයතන නොවේ.උදාහරණයක් වශයෙන් lafs ලංකා ආයතනය ශ්‍රී ලංකා බැංකු පද්ධතියට රුපියල් මිලියන 40,000 ට ආසන්න ණය පියවා නොමැති අසාදුගත ආයතනයකි.
මෙසේ ලිට්රෝ සමාගම ප්‍රතිව්‍යුහගත කිරීමට අයදුම්පත් කැඳවා ඇත්තේ එම සමාගම ප්‍රති ප්‍රතිව්‍යුහගතකරණය 2025 ජනවාරි දක්වා කල් දැමීමට තීරණය වී තිබියදීය . 2024 පෙබරවාරි හය වන දින මුදල් අමාත්‍යංශයේ පැවති සාකච්ඡාවේදී ඒකමතිකව මෙම තීරණය ගෙන තිබේ. එම තීරණය සම්බන්ධයෙන් රාජ්‍ය ව්‍යවසාය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් පී.ඒ.එස්. අතුල කුමාර මහතා විසින් 2024.03.11 දාතමින් රාජ්‍ය ව්‍යාපාර ප්‍රතිව්‍යුහගත කිරීමේ කමිටුව වෙත ලිඛිතව දන්වා යවා තිබේ.(PED/S/SOEs/PU/S/16). එහෙත් මෙම ලිපිය නොසලකා හරිමින් රාජ්‍ය ව්‍යාපාර ප්‍රතිව්‍යුහගත කිරීමේ කමිටුව (“සුරේන් ශා’ගේ කමිටුව) විසින් මෙම අයදුම්පත් කැඳවීම සිදුකර ඇත. පළමු අයදුම්පත් කැඳවීම අසාර්ථක වූ විට ගැනුම්කරුවාට වඩාත් සහනදායි කොන්දේසි ඇතුළත් කරමින් දෙවනවර අයදුම්පත් කැඳවීම සිදුකර තිබේ. පාඩු ලබන ආයතන අපමණ තිබියදී ශ්‍රී ලංකා රජයට ලාබ ලබාදෙන ලිට්රෝ ආයතනය ප්‍රතිව්හගත කිරීමට තැත් කිරීම අවධානය යොමු විය යුතු කරුණකි.
මෙසේ අත්තනෝමතික ලෙස ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම ප්‍රතිව්‍යුහගතකරණය කිරීම සඳහා ආයෝජකයන් කැඳවීම හා මුදල් අමාත්‍යාංශයේ තීරණ නොසලකා හරිමින් ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතු අඛණ්ඩව සිදුකිරීම පිළිබඳව ලිට්රෝ සුරැකීමේ ජාතික එකමුතුව සිය දැඩි විරෝධතාවය පළකර සිටී. මුදල් අමාත්‍යංශයේ තීරණ නොසලකා හරිමින් ලිට්‍රෝ ලංකා සමාගම ප්‍රතිව්‍යුහගත කිරීමට රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීමේ කමිටුව ක්‍රියා කරනුයේ කාගේ අවශ්‍යතාවය මතද යන්න ලිට්රෝ සුරැකීමේ එකමුතුව වැඩිදුරටත් ප්‍රශ්න කර සිටී.
සටහන – චම්පිකා මුතුකුඩ
Leave a Reply