Loading...

අධ්‍යාපන ඇමති ඉල්ලා අස්වෙයි – ඉන්දීය තරුණ විරෝධතා අවසන්, නව ඇමතිවරයෙක් පත් කෙරේ

නීට් (NEET) වෛද්‍ය ප්‍රවේශ විභාගයේ ප්‍රශ්න පත්‍ර අක්‍රමිකතා සම්බන්ධයෙන් මාසයකට ආසන්න කාලයක් ඉන්දියාව පුරා පැවති දැවැන්ත තරුණ විරෝධතා අවසන් කිරීමට විරෝධතා සංවිධායකයන් තීරණය කර තිබෙනවා.

ඒ, ඉන්දීය අධ්‍යාපන අමාත්‍ය ධර්මේන්ද්‍ර ප්‍රධාන් සිය ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් අනතුරුවයි.

ඔහු අද (25) පස්වරුවේ සිය ඉල්ලා අස්වීමේ ලිපිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි වෙත යොමු කර ඇති අතර, ඒ පිළිබඳව සිය නිල X ගිණුම ඔස්සේ ද නිවේදනය කර තිබෙනවා.

විරෝධතා මෙහෙයවූ “කොක්‍රෝච් ජනතා පක්ෂය” ප්‍රකාශ කර ඇත්තේ, අධ්‍යාපන අමාත්‍යවරයාගේ ඉල්ලා අස්වීම ඇතුළු සිය ප්‍රධාන ඉල්ලීම්වලට රජය එකඟ වීම හේතුවෙන් විරෝධතා අවසන් කරන බවයි.

නීට් විභාගයේ ප්‍රශ්න පත්‍ර කාන්දු වූ බවට එල්ල වූ චෝදනා මුල්කර ගනිමින් ආරම්භ වූ මෙම විරෝධතා, නවදිල්ලිය කේන්ද්‍ර කරගනිමින් රට පුරා වේගයෙන් ව්‍යාප්ත වුණා.

පසුගිය ජූනි 28 වැනිදා සිට මානව හිමිකම් ක්‍රියාකාරී සෝනම් වන්චුක් උපවාසයක් ආරම්භ කළ අතර, ජූලි 18 වැනිදා “කොක්‍රෝච් ජනතා පක්ෂයේ” නායක අභිජීත් ඩීප්කේ ද ඊට එක්වුණා.

පසුව විරෝධතා නවදිල්ලි නුවර කොනොට් ප්ලේස්, ජන්තර් මන්තර්, පාර්ලිමේන්තුව සහ අග්‍රාමාත්‍ය නිල නිවස අවට ප්‍රදේශවලට ව්‍යාප්ත වූ අතර, විශාල පිරිසක් ඊට එක්ව සිටියා.

විරෝධතා මැඩපැවැත්වීම සඳහා ඉන්දීය ආරක්ෂක අංශ දැඩි ක්‍රියාමාර්ග ගෙන තිබූ අතර, එහිදී විශාල පිරිසක් තුවාල ලැබූ අතර තවත් 70 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබුණා.

පසුව රජය සහ විරෝධතා පාර්ශ්වය අතර සාකච්ඡා වට කිහිපයක් පැවැත්වූ අතර, එහිදී අධ්‍යාපන අමාත්‍යවරයාගේ ඉල්ලා අස්වීම ඇතුළු ප්‍රධාන ඉල්ලීම් පිළිගැනීමත් සමඟ විරෝධතා අවසන් කිරීමට තීරණය කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

මේ අතර, ධර්මේන්ද්‍ර ප්‍රධාන්ගේ ඉල්ලා අස්වීම පිළිගැනීමෙන් අනතුරුව, ආහාර හා පාරිභෝගික කටයුතු අමාත්‍යවරයා ලෙස කටයුතු කළ ප්‍රලාද් ජෝෂි නව ඉන්දීය අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස පත් කර තිබෙනවා.

ඒ බව ඉන්දීය ජනාධිපති ලේකම් කාර්යාලය නිකුත් කළ නිවේදනයකින් තහවුරු කර තිබෙනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *