Loading...

මනූෂගේ අපේක්ෂිත ඇප ඉල්ලීම විමසීමට දින ලබාදෙයි

අල්ලස් කොමිසම විසින් තමා අත්අඩංගුවට ගැනීමට පෙර අපේක්ෂිත ඇපයක් මත මුදා හරින ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා විසින් ඉදිරිපත් කළ අපේක්ෂිත ඇප පෙත්සම විමසීම සඳහා ලබන 08 වනදා කැඳවන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.

මෙම ඇප ඉල්ලීම අද (03) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස් බෝදරගම මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා.

මෙහිදී අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි එහි සහකාර අධ්‍යක්ෂ ජනරාල් අනුෂා සම්මන්දප්පෙරුම මහත්මිය විසින් මෙම පෙත්සමට අදාළ ලිඛිත විරෝධතා අධිකරණය ඉදිරිපත් කළා.

මෙහිදී හිටපු අමාත්‍යවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ සාලිය පීරිස් මහතා මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේ මෙම විරෝධතාවලට පිළිතුරු ගොනුකිරීම සඳහා දිනයක් ලබාදෙන ලෙසයි.

මේ අනුව එම ලිඛිත පිළිතුරු ලබන අඟහරුවාදා ගොනු කරන ලෙස මහේස්ත්‍රාත්වරයා ජනාධිපති නීතිඥවරයාට නියම කළා.

ඉන්පසුව මෙම විමසීම සඳහා ලබන 08 වනදා කැඳවන ලෙස නියම කළා.

පසුගිය රජය සමයේ ඊශ්‍රායලයට කෘෂිකාර්මික රැකියා සඳහා සේවකයින් යැවීමේදී සිදුවී ඇතැයි කියන අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් විමර්ශනයක් සිදු කරන අතර ඊට අදාළව තමන්ව අත්අඩංගුවට ගැනීමට පෙර අපේක්ෂිත ඇපයක් මත තමන්ව මුදාහරින ලෙස ඉල්ලා හිටපු ඇමති මනුෂ නානායක්කාර මහතා විසින් මෙම අපේක්ෂිත ඇප පෙත්සම ඉදිරිපත් කර තිබෙනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *