ලොව ප්‍රධාන පෙළේ සමාගම් විසින් පරිශීලකයන්ගේ අන්තර්ජාල අත්දැකීම් වැඩිදියුණු කිරීම සඳහා භාවිත කරන ‘Optimizely’ ඩිජිටල් වේදිකාව වෙත හානිකර JavaScript කේත ඇතුළත් කර, ලොව ප්‍රකට වෙබ් අඩවි 178ක් පමණ සයිබර් ප්‍රහාරයකට ලක්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
පරිශීලකයන්ගේ ණයපත් (Credit Card) අංක සහ ක්‍රිප්ටෝ මුදල් සොරකම් කිරීමට මෙන්ම, ඇපල් උපාංගවලට අනිෂ්ට කේත ඇතුළත් කර ඒවා අවභාවිත කිරීමට ද මෙම හැකර්වරුන් උත්සාහ දරා ඇති බවයි වාර්තා වන්නේ.
ප්‍රහාරයට ලක්වූ වෙබ් අඩවි ලැයිස්තුවට Zoom, BBC, CNN, Salesforce, GitLab, IKEA, HSBC (UAE), Equifax, Air France-KLM, Ledger සහ Peacock වැනි ලොව වැඩිම පිරිසක් පිවිසෙන ප්‍රකට වෙබ් අඩවි ඇතුළත්.
පසුගිය නොවැම්බර් 16 වැනිදා පැය 9ක පමණ කාලයක් තුළ මෙම ප්‍රහාරකයින්ගේ ක්‍රිප්ටෝ පසුම්බි වෙත ඇමෙරිකානු ඩොලර් 7,040ක පමණ මුදලක් බැර වී ඇති බව මෙම සයිබර් ප්‍රහාරය මුලින්ම අනාවරණය කරගත් ආරක්ෂක පර්යේෂක ස්කොට් හෙල්ම් (Scott Helme) සඳහන් කර තිබෙනවා.
කෙසේ වෙතත් බලපෑමට ලක් වූ බොහෝ වෙබ් අඩවිවලින් එම හානිකර කේත මේ වන විට ඉවත් කර ඇති බවයි සඳහන් වන්නේ.
තම ඇතැම් පාරිභෝගිකයන්ට බලපෑ මෙම ආරක්ෂක ගැටලුව හඳුනාගෙන පාලනය කිරීමට පියවර ගත් බවත්, අදාළ අනාරක්ෂිත මාර්ග අවහිර කර හානිකර කේත ඉවත් කර ඇති බවත් සිද්ධිය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ‘Optimizely’ ආයතනය ප්‍රකාශ කර තිබෙනවා.







Leave a Reply