Loading...

ඇප ගන්න වංගු ගැසූ කපිලට අධිකරණයෙන් වරෙන්තු

ශ්‍රී ලන්කන් ගුවන් සමාගමට එයාර් බස් ගුවන් යානා මිලදී ගැනීමේ අල්ලස් ලබාගත් බවට පැවසෙන සිද්ධියේ සැකකරුවෙකු නම් කර සිටින ශ්‍රී ලන්කන් ගුවන් සමාගම් හිටපු විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාගේ ඇප අවලංගු කර නඩු විභාගය අවසන් වන තුරු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අල්ලස් කොමිසම විසින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට අද (07) මෝසමකින් ඉල්ලීමක් කර තිබෙනවා.

ඔවුන් මෙම ඉල්ලීම සිදුකර ඇත්තේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා හමුවෙයි.

ශ්‍රී ලන්කන් ගුවන් සමාගමට එයාර් බස් ගුවන් යානා මිලදී ගැනීමේ දී අමෙරිකානු ඩොලර් මිලියන 2ක අල්ලසක් ලබාගත් බවට පැවසෙන සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාර ගතව සිටි ඒ මහතාට අධිකරණයෙන් ඇප නියම කළේ පසුගිය 5 වනදායි.

එහිදී සැකකරු ඇපකරුවන් ඉදිරිපත් කිරීමේදී 1997 අංක 30 දරන ඇප පනත යටතේ දඬුවම් ලැබිය යුතු වරදක් කර ඔහු නොදන්නා ඇපකරුවන් දෙදෙනෙකු ඇප තැබීම සඳහා අධිකරණයට ඊයේ (06) දිනයේ ඉදිරිපත් කර තිබුණා.

මේ අනුව සැකකාර කපිල චන්ද්‍රසේන මහතා වෙනුවෙන් රුපියල් මිලියන සියයක ශරීර ඇප තැබීමට ඉදිරිපත් වූ පුද්ගලයින් දෙදෙනෙකු ලබන 13 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලහිරු සිල්වා මහතා ඊයේ (06) නියෝග කළා.

අලුත්කඩේ උසාවි සංකීර්ණයට ආසන්නයේ සාංචි අරච්චිවත්තේ පදිංචි මොහොමඩ් රිස්වාන් සහ මොහොමඩ් ඉර්ෂාන් නැමැති සැකකරුවන් දෙදෙනෙක් මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

අධිකරණය විසින් සැකකාර කපිල චන්ද්‍රසේන මහතාට නියම කර තිබූ රුපියල් 100ක ශරීර ඇප තුනක ඇපකරුවන් දෙදෙනෙකු ලෙස මොවුන් ඉදිරිපත්ව සිටියා.

කෙසෙල්වත්ත පොලිසියේ අපරාධ අංශය අධිකරණයට කරුණු දක්වමින් පෙන්වා දුන්නේ සැකකරුවන් කපිල චන්ද්‍රසේන මහතා සමඟ කිසිඳු පෞද්ගලික සම්බන්ධතාවයක් හෝ හඳුනා ගැනීමක් නොමැතිව රුපියල් 15000ක මුදලක් ලබාගෙන ඇපකරුවන් ලෙස ඉදිරිපත්ව ඇති බවයි.

දෙවා සහ තිස්ස නැමැති පුද්ගලයින් දෙදෙනෙකු කළ ඉල්ලීමක් මත තමන් මෙම මුදල ලබාගත් බව සැකකරුවන් පාපොච්චාරණය කළ බවද පොලීසිය අධිකරණයට දැනුම් දී තිබුණා.

ඇප පනතේ විධිවිධාන ප්‍රකාරව අවශ්‍ය අවස්ථාවකදී සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට මෙම ඇපකරුවන්ට නොහැකි බවත් සැකකරු සහ ඇපකරුවන් අතර සම්බන්ධයක් නොමැති බවත් අධිකරණ නිලධාරීන්ට හැඟී ගොස් තිබූ බවත් පොලීසිය අධිකරණයට දැනුම් දී ඇති බව සඳහන්.

මේ අනුව සිදුකළ පැමිණිල්ලකට අනුව ඔවුන් ඉදිරිපත් කළ ග්‍රාම නිලධාරී සහතික පරික්ෂා කර සැකකරුවන් අත්අඩංගුවට ගත් බව පොලීසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබෙනවා.

මෙම සැකකරු ඇප කොන්දේසි උල්ලංඝනය කරමින් අධිකරණයේ විශ්වාසය කඩකර ඇති නිසා ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා වරෙන්තු නිකුත් කරන ලෙසද අද (07) අල්ලස් කොමිසම සිය මෝසම මඟින් අධිකරණයෙන් ඉල්ලා ඇත.

මේ අතර ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම අද (07) වරෙන්තු නිකුත් කර තිබෙනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *