Loading...

කොළඹ මෙට්‍රෝ බස් සේවාව බස් රථ 121ක් සමඟින් වසරක ව්‍යාපෘතියක් ලෙස පුළුල් කෙරේ

කොළඹ මෙට්‍රෝ බස් සේවාව පුළුල් කරමින් දැනට පවතින බස් රථ 121ම යොදා ගනිමින් වසරක ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසනවා.

අමාත්‍යවරයා සඳහන් කළේ එම ව්‍යාපෘතිය සැප්තැම්බර් මස අවසානයේ සිට ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බවයි.

බස් රථ 10ක් යොදා ගනිමින් මේ වනවිට ක්‍රියාත්මක කර ඇති මෙට්‍රෝ බස් සේවාව හරහා ජනතාවට සැලකිය යුතු බලපෑමක් සිදුකර ඇති බවත්, එය තවමත් නියමු ව්‍යාපෘතියක් ලෙස සැලකිය නොහැකි බවත් අමාත්‍යවරයා පැවසුවා.

එමෙන්ම ලබන වසරේදී ගාල්ල, මහනුවර සහ යාපනය යන නගරවලටද මෙට්‍රෝ බස් සේවාව හඳුන්වාදීමට සැලසුම් කර ඇති අතර, ඒ සඳහා කැබිනට් අනුමැතියද හිමිව ඇති බව සඳහන් කළා.

පෞද්ගලික වාහන භාවිත කරන ජනතාව පොදු ප්‍රවාහනය වෙත යොමු කිරීම මෙට්‍රෝ බස් ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණක් බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නා.

කොළඹ මෙට්‍රෝ බස් ව්‍යාපෘතිය සඳහා බස් නැවතුම් ස්ථාන 240ක් පමණ හඳුනාගෙන ඇති අතර, එම ස්ථාන ආශ්‍රිතව රථවාහන නවතා මෙට්‍රෝ බස් සේවාව භාවිත කළ හැකි “Park and Ride” ක්‍රමවේදයක් හඳුන්වාදීමටද සැලසුම් කර තිබෙනවා.

ඒ අනුව හඳුනාගත් බස් නැවතුම් ආසන්නයේ වාහන නවතා තැබීමේ පහසුකම් ස්ථාපිත කරන ලෙස අදාළ පළාත් පාලන ආයතන, ව්‍යාපාරිකයින් සහ ඉඩම් හිමියන්ගෙන් අමාත්‍යවරයා ඉල්ලා සිටියා.

එම වාහන නැවැත්වීමේ ස්ථාන සකස් කිරීම සඳහා මූලික මාර්ගෝපදේශ ලබාදීමට මෙට්‍රෝ ආයතනය කටයුතු කරන අතර, ඒවා ලියාපදිංචි කිරීම සහ නියාමනය කිරීම අදාළ පළාත් පාලන ආයතන මගින් සිදුකිරීමට නියමිතයි.

මේ අතර ඉදිරි මාස කිහිපය තුළදී හඳුනාගත් මෙට්‍රෝ බස් නැවතුම් ආසන්නයේ ලියාපදිංචි කර ඇති රථවාහන නැවැත්වීමේ ස්ථාන සහ ඒවායේ පවතින ඉඩකඩ තත්‍ය කාලීනව පෙන්වන යෙදවුමක් හඳුන්වාදීමට නාගරික සංවර්ධන අධිකාරිය සැලසුම් කර ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළා.

ඒ අනුව නිවසින් පිටත්වීමට පෙර වාහන නැවැත්වීමේ ස්ථානවල ඉඩකඩ පරීක්ෂා කිරීමට මෙන්ම, යම් ස්ථානයක් පිරී ඇත්නම් විකල්ප ස්ථානයක් හඳුනා ගැනීමටද ජනතාවට හැකියාව ලැබෙනු ඇත.

වාහන නැවැත්වීමේ ගාස්තු අදාළ පළාත් පාලන ආයතන මගින් තීරණය කරන අතර, ඒ සඳහා මාර්ගගත ගෙවීම් පහසුකම් ලබාදීමටද කටයුතු කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *