පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධව සිදුකරන විමර්ශනවලට අදාළව තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කර ඇති පෙත්සමට අදාළව එහි වගඋත්තරකරුවන්ගෙන් තමන්ට මෙතෙක් උපදෙස් ලැබී නොමැති බව නීතිපතිවරයා අද (17) අභියාචනාධිකරණයට දැනුම් දුන්නා.
මීට අදාළ පෙත්සම අද (17) අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැඳවනු ලැබුවා.
මෙහිදී සාමාජික විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා පැවසුවේ පුද්ගලික හේතුන් මත තමන් මෙම නඩු විභාගයට සහභාගී නොවන බවයි.
තම සේවාදායකයා අත්අඩංගුවට ගැනීම වලක්වමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස තමන් අධිකරණයෙන් ඉල්ලා සිටින බව පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කළා.
මෙහිදී වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් සුහර්ෂි හේරත් මහත්මිය කියා සිටියේ මෙම නඩුකරයට අදාළ ලේඛන තමන්ට ලැබුනේ අද (17) පෙරවරුවේ බවත් වගඋත්තරකරුවන්ගෙන් තමන්ට කිසිඳු උපදෙසක් මේ දක්වා ලැබී නොමැති බවත්ය.
වගඋත්තරකරුවන්ගෙන් උපදෙස් ලබා ගැනීමකින් තොරව මෙම පෙත්සම්කරු අත්අඩංගුවට නොගන්නා බවට අධිකරණයට ප්‍රතිඥාවක් ලබාදිය නොහැකි බවද නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය පැවසුවා.
ඉන්පසුව මෙම සලකා බැලීම අද (17) දහවල් දක්වා කල් තැබීමට අධිකරණය නියම කළා.






Leave a Reply