Loading...

හාඩිගේ ඝාතනය සමඟ බංග්ලාදේශය නැවත ඇවිලෙයි

බංග්ලාදේශ හිටපු අගමැතිනි ෂෙයික් හසීනා බලයෙන් පහකළ තරුණ ව්‍යාපාරයේ ප්‍රමුඛ නායකයෙකු වූ ෂරිෆ් ඔස්මාන් හාඩි නැමැත්තාගේ ඝාතනයෙන් පසු බංග්ලාදේශයේ නැවත වරක් ප්‍රචණ්ඩකාරී වාතාවරණයක් උද්ගත වී තිබෙනවා.

පසුගිය සතියේ ඩකාහි මුස්ලිම් පල්ලියකින් පිටව යමින් නාඳුනන වෙඩික්කරුවෙකුගේ ප්‍රහාරයකට ලක් වුණා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ එහිදී බරපතළ තුවාල ලැබූ ඔහු සිංගප්පුරුවේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (18) මරණයට පත් වූ බවයි.

2024 දී පැවැති අරගලයෙන් පසු බංග්ලාදේශ මැතිවරණය සඳහා දිනයන් ප්‍රකාශයට පත් කිරීමෙන් දිනකට පසු මෙම වෙඩි තැබීම සිදුව තිබුණා.

ඔහු එළැඹෙන මැතිවරණයේ දී ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස තරඟ කිරීමට තීරණය කර තිබූ බව සඳහන්.

මේ අනුව ඔහුගේ මරණය පිලිබඳව පුවත පළවීමෙන් පසු හාඩිගේ ආධාරකරුවන් සිය ගණනක් ඩකා අගනුවරට රැස්ව මෙම විරෝධතාව ආරම්භ කර තිබෙනවා.

විරෝධතාකරුවන් බංග්ලාදේශයේ ප්‍රධානම පුවත්පත් වන ‘ද ඩේලි ස්ටාර්’ සහ ‘ප්‍රෝතොම් අලි’ කාර්යාලවලට දැඩි එස හානිකර ඉන් එක් ගොඩනැගිල්ලකට ගිනි තබා ඇති බව වාර්තා වනවා.

සිද්ධිය වූ ස්ථානයට ආරක්ෂා අංශ යොදවා ඇති අතර ගිනි නිවන භටයින් ගොඩනැගිල්ල තුළ සිරවී සිටි මාධ්‍යවේදීන් බේරාගෙන තිබෙනවා.

ඉන්කිලාබ් මන්චා නම් ශිෂ්‍ය විරෝධතා කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ නායකයෙකු වූ 32 හැවිරිදි හාඩි අසල්වැසි ඉන්දියාව ප්‍රසිද්ධියේම දැඩිව විවේචනය කළ අයෙකු බවද වාර්තා වනවා.

මේ අතර බංග්ලාදේශ භාරකාර රජයේ ප්‍රධානියා වන නොබෙල් ත්‍යාගලාභී මුහම්මද් යූනුස් මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කර ඇත්තේ සිය රටට ආපසු හැරවිය නොහැකි පාඩුවක් ලෙසයි.

හාඩිට සිදුකළ සාහසික වෙඩි තැබීම සැලසුම් සහගත ප්‍රහාරයක් බවත් කුමන්ත්‍රණකරුවන්ගේ අරමුණ මැතිවරණය අඩපණ කිරීම බවත් ඔහු මෙහිදී පෙන්වා දෙනවා.

මේ අතර අන්තර්කාලීන රජය හෙට (20) දිනයේ ජාතික ශෝක දිනයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

මෙම වෙඩි තැබීම සම්බන්ධයෙන් පුද්ගලයින් කිහිපදෙනෙක් මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *