දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයකට බලපා ඇති ආපදා තත්ත්වය හේතුවෙන් මරණ 2ක් වාර්තා වී තිබෙනවා.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අද (15) පෙරවරු 6ට නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ එම මරණ මඩකලපුව සහ යාපනය දිස්ත්‍රික්කවලින් වාර්තා වී ඇති බවයි.
අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන් දිස්ත්‍රික්ක 8ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 35ක ජනතාව මේ වන විට පත්ව සිටින බවද එම නිවේදනයේ සඳහන් වනවා.
මේ වන විට පවුල් 1113කට අයත් පුද්ගලයින් 3475 දෙනෙක් අයහපත් කාලගුණයෙන් බලපෑමට ලක්ව තිබෙනවා.
ඉන් පුද්ගලයින් 104 දෙනෙක් මේ වන විට සුරක්ෂිත මධ්‍යස්ථාන දෙකක රඳවා සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.
තවද නිවාස 88ක් අර්ධ වශයෙන් හානියට පත්ව ඇති බවද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙනවා.
මේ අතර දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් අද (15) උදෑසන 5න් අවසන් වූ ගතවූ පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය අවිස්සාවේල්ල ප්‍රදේශයෙන් වාර්තා වී තිබෙනවා.
වාරිමාර්ග අධ්‍යක්ෂ ඉංජිනේරු එල්.එස්. සූරියබණ්ඩාර මහතා පවසා සිටියේ එම අගය මි.මී. 180ක් බවයි.
ඊට අමතරව හංවැල්ලට මිලිමීටර් 158ක් සහ දැරණියගලට මිලිමීටර් 122ක් වර්ෂාපතනය ලැබී තිබෙනවා.
කැළණි ගඟේ ජල මට්ටම මේ හේතුවෙන් ඊයේ (14) රාත්‍රියේ සිට වැඩි වීමක් සිදුවුවද තවමත් එය අනතුරු ඇඟවීමේ මට්ටමට ළඟා වී නොමැති බව සඳහන්.
තවද අත්තනගලු ඔයේ දුනමලේ මිනුම් මධ්‍යස්ථානය සහ අවට ප්‍රදේශවලට මිලිමීටර් 176ක වර්ෂාපතනයක් ලැබී තිබෙනවා.
මේ අතර ගිරිඋල්ල ප්‍රදේශයට ඊයේ (14) මිලිමීටර් 172ක වර්ෂාපතනයක් ලැබී ඇති බව වාර්තා වනවා.
ඒ හේතුවෙන් මා ඔයේ ජල මට්ටම ඉහළ ගොස් ඇති බව සඳහන්.
මේ අනුව ගිරිඋල්ල සහ බඩල්ගම ප්‍රදේශයන් හි ජල මට්ටම මේ වන විට ඉහළ ගොස් තිබුණ ද තවමත් ගංවතුර තත්ත්වයක් දක්වා වර්ධනය වී නැහැ.
ඊට අමතරව ගිං ගඟ, නිල්වලා ගඟ සහ කළු ගඟ ප්‍රදේශවලට මිලිමීටර් 50ත් 100ත් අතර වර්ෂාපතනයක් ලැබී ඇති බව වාර්තා වනවා.
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට දිඩ් වර්ෂාපතනයක් ලැබී ඇති අතර ඒ හේතුවෙන් ගංගා ද්‍රෝණි කිහිපයක්ම ජල මට්ටම් සැලකිය යුතු ලෙස ඉහළ යාමක් වාර්තා වී තිබෙනවා.
එල්.එස්. සූරියබණ්ඩාර මහතා පවසන්නේ අද (15) දිනයේ ද තෙත් කලාපයට බරව වැසි ලැබීමේ ප්‍රවණතාවක් පවතින බවත් ගංගා ආශ්‍රිතව සහ පහත බිම්වල වෙසෙන ජනතාව දැඩි අවධානයෙන් පසුවිය යුතු බවයි.







Leave a Reply