Loading...

මත්ද්‍රව්‍ය අපරාධවලට මරණ දඬුවම ගැන අවධානය

මත්ද්‍රව්‍ය සම්බන්ධ අපරාධ සඳහා මරණ දඬුවම ලබාදීම සම්බන්ධයෙන් “රටම එකට” ජාතික මෙහෙයුම් සභාවේදී අවධානය යොමුව තිබෙනවා.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී එම මෙහෙයුම් සභාව රැස්වූ අවස්ථාවේදී මේ පිළිබඳව සාකච්ඡා කර තිබෙනවා.

විෂ මත්ද්‍රව්‍ය උවදුර මේ වනවිට පුද්ගල සබඳතාවලින් ඔබ්බට ගොස් සමස්ත ආර්ථිකයට සහ සමාජයට බරපතළ තර්ජනයක් වී ඇති බැවින්, ඊට එරෙහිව දැඩි නීති ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව පිළිබඳවද එහිදී අවධානය යොමුවී ඇති බව සඳහන්.

මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයන විශාල මුදල් හේතුවෙන් ගොඩනැගී ඇති අපරාධමය පරිසරය ජාතික ආර්ථිකයට, සංචාරක කර්මාන්තයට සහ සමාජ ආචාරධර්මවලට බරපතළ තර්ජනයක් වී ඇති බවද මෙහිදී පෙන්වා දී තිබෙනවා.

මත්ද්‍රව්‍ය උවදුර මුලිනුපුටා දැමීම සඳහා ප්‍රායෝගික ක්‍රියාමාර්ග මෙන්ම සමාජයේ ආකල්පමය වෙනසක් ඇති කිරීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා අවධාරණය කළා.

ඒ සඳහා ආගමික නායකයින්, දෙමාපියන් සහ ප්‍රජා සංවිධානවල සක්‍රීය දායකත්වය රජය අපේක්ෂා කරන බවද ජනාධිපතිවරයා සඳහන් කර තිබෙනවා.

මේ අතර, මත්ද්‍රව්‍ය පාලනය සහ ඇප ලබාදීමේ ක්‍රියාවලියට අදාළ නීති සංශෝධන අවසන් අදියරේ පවතින අතර, ඒවා කඩිනමින් ගැසට් කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

මත්ද්‍රව්‍ය නඩු ප්‍රමාද වීමට බලපාන රස පරීක්ෂක වාර්තා නිකුත් කිරීමේ කටයුතුද මේ වනවිට වේගවත් කර ඇති අතර, පසුගිය ජූලි මාසයේදී පමණක් රස පරීක්ෂක වාර්තා 6,414ක් නිකුත් කර තිබෙනවා.

අත්අඩංගුවට ගන්නා මත්ද්‍රව්‍ය ප්‍රමාණය අනුව සැකකරුවන් වර්ගීකරණය කර, රස පරීක්ෂක වාර්තා ලැබුණු වහාම ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා නව ක්‍රමවේදයක් සකස් කරන ලෙස ජනාධිපතිවරයා උපදෙස් ලබාදී ඇත.

ඒ සඳහා පොලීසිය, බන්ධනාගාර දෙපාර්තමේන්තුව සහ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව අතර කාර්යක්ෂම සම්බන්ධීකරණයක් ඇති කිරීමටද අවධානය යොමුවී ඇති බවයි වාර්තා වන්නේ.

රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ ධාරිතාව වැඩි කිරීම සහ පහසුකම් පුළුල් කිරීම සම්බන්ධයෙන්ද ජනාධිපතිවරයා කරුණු විමසා තිබෙනවා.

රස පරීක්ෂක වාර්තා කඩිනමින් ලබාගැනීම සඳහා නාවික හමුදාවේ සහාය ලබාගැනීමට කටයුතු කරමින් සිටින බවද එහිදී අනාවරණ වී ඇති අතර ආරක්ෂිත කැමරා පද්ධති ස්ථාපනය කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කරන ලෙස ජනාධිපතිවරයා උපදෙස් ලබාදී ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරන්නේ.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *