කොළඹ වරාය සංවර්ධනය සහ ඊට අදාළ යටිතල පහසුකම් ප්‍රවර්ධනය සඳහා ඇමෙරිකානු ආයෝජන ආකර්ෂණය කර ගැනීමේ උත්සාහයන් සිදුකරමින් සිටින බව වරාය හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත කොඩිතුවක්කු මහතා පවසනවා.
ඔහු මේ බව සඳහන් කළේ, මෑතකදී ඇමෙරිකාවේ වොෂින්ටන් නුවර පැවැති සමුළුවකට සහභාගී වීමෙන් අනතුරුවයි.
එහිදී ශ්‍රී ලංකා දූත පිරිස විසින් කොළඹ වරාය පුළුල් කිරීම සඳහා පවතින ආයෝජන අවස්ථා ඇමෙරිකානු ව්‍යාපාරික ප්‍රජාව වෙත ඉදිරිපත් කළ බව නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා.
ඔහු පවසන්නේ රජය සැපයුම් කළමනාකරණ උද්‍යානයක් (Logistics Park) සහ බටහිර බහාලුම් පර්යන්තය-2 (WCT-2) සංවර්ධනය කිරීමට සැලසුම් කර ඇති අතර, කොළඹ වරාය ශ්‍රී ලංකාවේ ප්‍රධාන උපායමාර්ගික සම්පතක් බවයි.
ඇමෙරිකානු ව්‍යාපාරික ප්‍රජාව ශ්‍රී ලංකාවේ උපායමාර්ගික වැදගත්කම පිළිබඳ හොඳ අවබෝධයකින් පසුවන බවත්, වරායට යාබදව යෝජිත සැපයුම් කළමනාකරණ උද්‍යානය සංවර්ධනය සඳහා ආයෝජන අපේක්ෂා කරන බවත් ජනිත කොඩිතුවක්කු මහතා වැඩිදුරටත් සඳහන් කළා.
මේ අතර, ශ්‍රී ලංකාව සහ ඇමෙරිකාව අතර සමුද්‍රීය ආරක්ෂක සහයෝගීතාව ද මෑත මාසවලදී තවදුරටත් ශක්තිමත් වී තිබෙනවා.
ඒ අනුව, ශ්‍රී ලංකා නාවික හමුදාවට Fleet Broadband චන්ද්‍රිකා සන්නිවේදන තාක්ෂණය ලබාදීමට ඇමෙරිකාව පියවර ගෙන ඇති බව ද දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ ඇමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම් පෝල් කපූර් මහතා ප්‍රකාශ කළා.
එමෙන්ම, ඇමෙරිකාවේ නිෂ්පාදිත TH-57 (Bell 206) හෙලිකොප්ටර් යානා 10ක් ශ්‍රී ලංකා ගුවන් හමුදාව වෙත නිල වශයෙන් භාරදී ඇති අතර, එමඟින් සෙවීමේ සහ මුදාගැනීමේ මෙහෙයුම් මෙන්ම නියමුවන් පුහුණු කිරීමේ හැකියාව ද ඉහළ නැංවෙනු ඇති බව ඇමෙරිකානු තානාපති කාර්යාලය සඳහන් කර තිබෙනවා.







Leave a Reply