කොළඹ පිහිටි පොලිස්පතිවරයාගේ සහ අගවිනිසුරුවරයාගේ නිල නිවාස අවට ප්‍රදේශ වීඩියෝගත කළ බවට සැක කෙරෙන පුද්ගලයෙකු කුරුඳුවත්ත පොලිසිය විසින් ඊයේ (06) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලීසිය පවසන්නේ, සැකකරු වීඩියෝගත කිරීම සඳහා භාවිත කළ ජංගම දුරකථනය ද විමර්ශන සඳහා භාරයට ගෙන ඇති බවයි.
පොලිස්පතිවරයාගේ නිල නිවස අසල රථයක් නවතා පුද්ගලයෙකු ජංගම දුරකථනයකින් වීඩියෝගත කරමින් සිටින අයුරු එහි ආරක්ෂක රාජකාරියේ නිරත පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරියෙකුගේ නිරීක්ෂණයට ලක්ව තිබෙනවා.
ඒ පිළිබඳ තොරතුරු වහාම රථවාහන රාජකාරියේ නිරත පොලිස් නිලධාරියෙකුට දැනුම් දීමෙන් අනතුරුව කොළඹ හදිසි ඇමතුම් අංශය සම්බන්ධ කරගෙන තිබෙන අතර, එහි උපදෙස් මත කුරුඳුවත්ත පොලිසියේ රාත්‍රී ජංගම සංචාරක නිලධාරීන් සිද්ධිය වූ ස්ථානයට පැමිණ සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු සන්තකයේ තිබූ ජංගම දුරකථනය පරීක්ෂා කිරීමේදී පොලිස්පතිවරයාගේ නිල නිවස සහ ඒ අවට මාර්ග මෙන්ම අගවිනිසුරුවරයාගේ නිල නිවස අවට ප්‍රදේශ ද වීඩියෝගත කර තිබූ බව පොලීසිය අනාවරණය කරගෙන තිබෙනවා.
මූලික ප්‍රකාශයේදී එය විනෝදාංශයක් ලෙස සිදුකළ බව සැකකරු සඳහන් කර ඇතත්, වැඩිදුර ප්‍රශ්න කිරීම්වලදී ඔහුගේ පදිංචිය ඇතුළු කරුණු සම්බන්ධයෙන් පරස්පර ප්‍රකාශ ලබාදී ඇති බව උසස් පොලිස් නිලධාරියෙකු ප්‍රකාශ කළා.
අත්අඩංගුවට ගත් සැකකරු අළුබෝමුල්ල, අරුග්ගොඩ, නිවුඩාව පාර ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි පුද්ගලයෙකු වන අතර, සිද්ධිය සම්බන්ධයෙන් කුරුඳුවත්ත පොලිසිය වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කර තිබෙනවා.







Leave a Reply