මධ්‍යම කඳුකරය ආරක්ෂා කර ගනිමින් පෝෂණය කිරීම සඳහා නව අධිකාරියක් පිහිටුවීමට අදාළ ක්‍රියාවලියේ ප්‍රගතිය විමසා බැලීමේ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (29) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණා.
පසුගියදා බලපෑ ‘දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් සිදු වූ නායයෑම්වලින් මධ්‍යම කඳුකරයට දැඩි හානි සිදු වූ අතර, රටේ හදවත බඳු මෙම කලාපය සුරක්ෂිත කිරීමේ හදිසි අවශ්‍යතාව ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළා.
ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ඉහළ ජල පෝෂක ප්‍රදේශවල පාරිසරික ගැටලුවලට තිරසාර විසඳුම් ලබාදීම සඳහා වෙනම අධිකාරියක් පිහිටුවීමට මීට පෙර තීරණය කර තිබුණි. අද පැවැති සාකච්ඡාවේදී එම ක්‍රියාවලියේ වත්මන් ප්‍රගතිය, අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන සහ නව යෝජනා පිළිබඳව දීර්ඝ වශයෙන් කරුණු විමසා බැලුනු බවයි.
නව අධිකාරියේ ප්‍රධාන කාර්යභාරයන්:
මෙම නව අධිකාරිය පිහිටුවීම හරහා ක්ෂේත්‍ර ගණනාවක සම්බන්ධීකරණ කටයුතු සිදු කිරීමට අපේක්ෂිතය.
පාරිසරික ප්‍රතිස්ථාපනය: ඉහළ ජලධාර ප්‍රදේශවල පරිසර පද්ධති නැවත ගොඩනැංවීම.
ජාතික සුරක්ෂිතතාව: ජල සහ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීම.
ආපදා කළමනාකරණය: නායයෑම් ඇතුළු ආපදා අවදානම් අවම කිරීම.
බලශක්ති හා ආර්ථිකය: බලශක්ති කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සහ ස්වභාවික ප්‍රාග්ධන ගිණුම්කරණය.
දේශගුණික විපර්යාස: දේශගුණික බලපෑම්වලට අනුකූල වීම සහ ඒවායේ බලපෑම් අවම කිරීම.
ඉදිරිපත් වූ සියලු යෝජනා සැලකිල්ලට ගනිමින්, මෙම අධිකාරිය පිහිටුවීමේ ඉදිරි කටයුතු කඩිනම් කරන ලෙස ජනාධිපතිවරයා මෙහිදී නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.







Leave a Reply