Loading...

අයවැයට විරෝධය පළ කරමින් දෙසැම්බර් 01 වැනිදා පොල්දූව මංසන්ධියේ දැවැන්ත විරෝධතාවක්

අයවැයට විරෝධය පළ කරමින් දෙසැම්බර් මස පළමුවැනිදා පොල්දූව මංසන්ධියේදී දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් සංවිධානය කර ඇති බව අධ්‍යාපන වෘත්තිකයින්ගේ සංගමය පවසනවා.

එම සංගමයේ සභාපති උලපනේ සුමංගල හිමියන් සඳහන් කළේ එදින අධ්‍යාපන අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පාර්ලිමේන්තුවේ විවාදයට ගැනීමට නියමිත බැවින් මෙම විරෝධතාව සංවිධානය කර ඇති බවයි.

අධ්‍යාපනය සඳහා සියයට හයක් වෙන් කරන බවට වූ පොරොන්දුව මත වත්මන් අගමැතිනිය දේශපාලන ගමන ආරම්භ කළ බව පෙන්වා දුන් උලපනේ සුමංගල හිමියන්, බලයට පත්වීමෙන් පසු එම පොරොන්දුව ඉටු කර තිබේද යන්න සම්බන්ධයෙන් රජය පැහැදිලි කළ යුතු බවත්, පළමුවැනිදා පැවැත්වෙන විරෝධතාවයෙන් අනතුරුව සිය වෘත්තීය ක්‍රියාමාර්ග තවදුරටත් දැඩි කිරීමට සූදානම් බවත් අවධාරණය කළා.

මේ අතර 2027 අයවැය මගින් විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයින්ගේ ගැටලු සහ ඔවුන් සමඟ ඇති කරගත් එකඟතා සම්බන්ධයෙන් කිසිදු අවධානයක් යොමු කර නොමැති බව විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව පවසනවා.

එහි සම සභාපති ධම්මික එස්. ප්‍රියන්ත මහතා සඳහන් කළේ අදාළ ගැටලු විසඳන තෙක් විශ්වවිද්‍යාල පද්ධතිය තුළ අර්බුදකාරී තත්ත්වයක් නිර්මාණය වීමේ අවදානමක් පවතින බවයි.

එමෙන්ම ගුරුවරුන් විසින් නොවැම්බර් 30 වැනිදා සිට ආරම්භ කිරීමට නියමිත විරෝධතා ක්‍රියාමාර්ගය ඇතුළු සියලු වෘත්තීය ක්‍රියාමාර්ග සඳහා නිදහස් වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ පූර්ණ සහාය ලබා දෙන බව එහි සභාපති සිරිතුංග ජයසූරිය මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *