Loading...

දකුණු කොරියාවේ සිදුවූ රිය අනතුරකින් ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට

දකුණු කොරියාවේ ග්යොංජි පළාතේ හ්වාසොං හි සිදුවූ රිය අනතුරකින් ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව එරට මාධ්‍ය වාර්තා කරනවා.

පසුගිය නොවැම්බර් 26 වැනිදා රාත්‍රී 9.10ට පමණ හ්වාසොං හි ජංගන්-මියොන් ප්‍රදේශයේදී සේවය නිමවී තම නේවාසිකාගාරය වෙත පාගමනින් ගමන් කරමින් සිටි අවුරුදු 30ක පමණ වයසැති ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකු මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි සඳහන් වන්නේ.

මාර්ගය අයිනේ ගමන් කරමින් සිටි මෙම ලාංකිකයන් දෙදෙනා ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි ටොන් 7.5ක බරැති ට්‍රක් රථයක පිටුපස භාණ්ඩ පටවන කොටසින් පිටතට නෙරා තිබූ කොටසක ගැටීමෙන් අනතුර සිදුව ඇති බව මූලික පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

එම කොටස ඔවුන්ගේ හිස සහ උදර ප්‍රදේශයේ වැදීමෙන් බරපතළ තුවාල ලබා ප්‍රතිකාර සඳහා රෝහල්ගත කිරීමෙන් අනතුරුවයි මෙම ශ්‍රමිකයන් දෙදෙනා මියගොස් ඇත්තේ.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන පවත්වන හ්වාසොං සියෝබු පොලිස් ස්ථානය සඳහන් කළේ වෘත්තීය නොසැලකිල්ල හේතුවෙන් මරණය සිදුකිරීමේ චෝදනා මත අවුරුදු 50ක් වයසැති ට්‍රක් රථ රියදුරාට එරෙහිව දකුණු කොරියාවේ රථවාහන අනතුරු පිළිබඳ විශේෂ නඩු පනත යටතේ නඩු පවරා ඇති බවයි.

අනතුර සිදුවන අවස්ථාවේ රියදුරු මත්පැන් හෝ මත්ද්‍රව්‍ය භාවිත කර නොතිබූ බව පොලිසිය තහවුරු කර ඇති අතර, මියගිය ශ්‍රී ලාංකිකයන් දෙදෙනාගේ අනන්‍යතාව මෙතෙක් අනාවරණය වී නොමැති බවත් ඩෑෂ්කැම් දර්ශන ඇතුළු සාක්ෂි විශ්ලේෂණය කරමින් කොරියානු පොලිසිය ඉදිරි විමර්ශන සිදු කරන බවත් වාර්තා වෙනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *