Loading...

‘අක්වාන්’ සුළි කුණාටුව හේතුවෙන් ධීවර සහ නාවික ප්‍රජාවට විශේෂ අනතුරු ඇඟවීමක්

ගිනිකොනදිග බෙංගාල බොක්ක සහ ඊට යාබද නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින ‘අක්වාන්’ සුළි කුණාටුව හේතුවෙන් ධීවර සහ නාවික ප්‍රජාව වෙත කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විශේෂ අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඊයේ (17) පස්වරු 5.30 පමණ වන විට මෙම සුළි කුණාටුව ත්‍රිකුණාමලය සිට කිලෝමීටර් 630ක් පමණ දුරින් උතුරු අක්ෂාංශ 12.3 සහ නැගෙනහිර දේශාංශ 85.6 ආසන්නයේ කේන්ද්‍රගතව පැවති බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මෙම පද්ධතිය උතුරු-වයඹ දෙසට ගමන් කරමින් අද (18) අලුයම 5.30 පමණ වන විට බටහිර මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේදී ‘ප්‍රබල සුළි කුණාටුවක්’ දක්වා වර්ධනය වීමට ඉතා වැඩි ඉඩකඩක් පවතිනවා.

ඉන් අනතුරුව එය තවදුරටත් වයඹ දෙසට ගමන් කරමින් හෙට (19) පස්වරු 5.30 පමණ වන විට ‘ඉතා ප්‍රබල සුළි කුණාටුවක්’ බවට පත්ව නොවැම්බර් 20 වැනිදා පෙරවරු 11.30ට පමණ ආන්ද්‍රා ප්‍රදේශ් සහ යනාමි වෙරළ අතරින් ඉන්දියාවට ඇතුළු වනු ඇති බවයි පුරෝකථනය කර ඇත්තේ.

ඒ අනුව, කන්කසන්තුරය සිට ත්‍රිකුණාමලය සහ මඩකලපුව හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවලත්, බටහිර මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේත් නැවත දැනුම් දෙනතුරු ධීවර සහ නාවික කටයුතුවලින් වැළකී සිටින ලෙස දැනුම් දෙනවා.

එම මුහුදු ප්‍රදේශවල දැනට යාත්‍රා කරමින් සිටින බහුදින ධීවර යාත්‍රා ඇතුළු නාවික ප්‍රජාව වහාම ආරක්ෂිත ප්‍රදේශ කරා යාත්‍රා කරන ලෙසයි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව උපදෙස් දී ඇත්තේ.

මේ අතර අද දිනයේදී ඌව සහ දකුණු පළාත්වලත් අම්පාර දිස්ත්‍රික්කයේත් ස්ථාන ස්වල්පයක සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව පවසනවා.

දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියළි කාලගුණික තත්ත්වයක් පවතින අතර, අලුයම් කාලයේදී බොහෝ ප්‍රදේශවල මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කෙරෙනවා.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *