Loading...

සංවර්ධන නිලධාරීන් අද වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් දිවයින පුරා සේවයේ නිරත සංවර්ධන නිලධාරීන් අද (09) දිනයේ ලෙඩ නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වීමට නියමිතව තිබෙනවා.

සමස්ත ලංකා සංවර්ධන නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් නීතිඥ අනුරාධ සෙනවිරත්න මහතා සඳහන් කළේ, මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් රාජ්‍ය ආයතන රැසක අභ්‍යන්තර කටයුතුවලට දැඩි බලපෑම් එල්ල විය හැකි බවයි.

අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, පළාත් සභා, ගිණුම් අංශ, ඉඩම් අංශ, පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ කාර්යාල සහ ආගමන විගමන කාර්යාල ඇතුළු රාජ්‍ය ආයතන රැසක අභ්‍යන්තර කටයුතුවලින් විශාල ප්‍රමාණයක් සංවර්ධන නිලධාරීන් විසින් සිදුකරන බැවින්, ඔවුන් සේවයට වාර්තා නොකිරීම හේතුවෙන් එම කටයුතු අඩාල විය හැකි බව ද ඔහු පෙන්වා දුන්නා.

මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය සඳහා උතුරු හා නැගෙනහිර පළාත් ඇතුළු පළාත් සභා නවය නියෝජනය කරන වෘත්තීය සමිති මෙන්ම මධ්‍යම රජය නියෝජනය කරන තවත් වෘත්තීය සමිති රැසක් ද එක්ව සිටින බව සෙනවිරත්න මහතා පැවසුවා.

ඒ අනුව වෘත්තීය සමිති 12ක එකතුවකින් මෙම ක්‍රියාමාර්ගය සංවිධානය කර තිබෙනවා.

තම ඉල්ලීම් සම්බන්ධයෙන් ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරිය, අදාළ විෂයභාර අමාත්‍යවරුන් මෙන්ම රාජ්‍ය පරිපාලන අමාත්‍යවරයා සහ ග්‍රාමීය සංවර්ධන අමාත්‍යවරයා සමඟ ද සාකච්ඡා කිරීමට අපේක්ෂා කරන බව අනුරාධ සෙනවිරත්න මහතා සඳහන් කළා.

කෙසේ වෙතත්, සිය ඉල්ලීම් සම්බන්ධයෙන් බලධාරීන් අවධානයක් යොමු නොකරන්නේ නම්, ඉදිරියේදී මීට වඩා ප්‍රබල වෘත්තීය ක්‍රියාමාර්ගවලට එළඹීමට සූදානම් බව ද සමස්ත ලංකා සංවර්ධන නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම්වරයා වැඩිදුරටත් පැවසුවා.

”මේ රටේ අමාත්‍යාංශවල, දෙපාර්තමේන්තුවල, පළාත් සභාවල, ගිණුම් අංශවල, ඉඩම් අංශවල, ඒ වගේම පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ (අයි.ඩී.) කාර්යාලවල සහ ආගමන විගමන කාර්යාලවල අභ්‍යන්තර කටයුතුවලින් විශාල කොටසක් සංවර්ධන නිලධාරීන් විසින් තමයි ඉටු කරනු ලබන්නේ. ඒ අනුව සංවර්ධන නිලධාරීන් සේවයට වාර්තා නොකිරීමත් සමඟ මෙම සියලු කටයුතු අඩාල වෙනවා. අපි මෙම ක්‍රියාමාර්ගයට එක්ව සිටින්නේ වෘත්තීය සමිති 12කින් සමන්විත සන්ධානයක් ලෙසයි. උතුරු හා නැගෙනහිර පළාත් ඇතුළු පළාත් සභා නවය නියෝජනය කරන වෘත්තීය සමිති මෙන්ම මධ්‍යම රජය නියෝජනය කරන තවත් වෘත්තීය සමිති ගණනාවක්ද ඊට ඇතුළත් වෙනවා.

මේ සම්බන්ධයෙන් අපි මේ වන විට සාකච්ඡා කරමින් සිටිනවා. නැවත වතාවක් ජනාධිපතිතුමා, අග්‍රාමාත්‍යතුමිය සහ අදාළ විෂයභාර අමාත්‍යවරුන් වන රාජ්‍ය පරිපාලන අමාත්‍යවරයා හා ග්‍රාමීය සංවර්ධන අමාත්‍යවරයා සමඟ මේ පිළිබඳව සාකච්ඡා කිරීමට අපි බලාපොරොත්තු වෙනවා.එම සාකච්ඡා සඳහා සාධාරණ අවස්ථාවක් ලබා නොදෙන්නේ නම් ඉදිරියේදී තවදුරටත් ප්‍රබල වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවලට එළඹීමට අපි සූදානම්. ඒ සඳහා අවශ්‍ය කටයුතු මේ වන විටත් සූදානම් කරමින් සිටිනවා.”


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *