Loading...

කොළඹ සුඛෝපභෝගී මහල් නිවාසවලටත් ගෑස් අර්බුදය උඩුදුවයි

මෙරට පවතින ගෑස් හිඟය හේතුවෙන් කොළඹ නගරයේ පිහිටි සුඛෝපභෝගී මහල් නිවාස සංකීර්ණ රැසකට ගෑස් සැපයීමේ දැඩි ගැටලු මතුව ඇති බව වාර්තා වනවා.

නළ මාර්ග පද්ධති ඔස්සේ ගෑස් සැපයෙන මෙම මහල් නිවාස සංකීර්ණවල පවතින ගෑස් හිඟය හමුවේ සැපයුම අඛණ්ඩව පවත්වාගෙන යාම මේ වනවිට මහත් අභියෝගයක් වී තිබෙනවා.

විශේෂයෙන් කොළඹ ගාලුමුවදොර පිටිය ආසන්නයේ පිහිටි, විදෙස් තානාපතිවරුන් සහ ව්‍යාපාරිකයන් රැසක් පදිංචි ප්‍රධාන පෙළේ සුඛෝපභෝගී මහල් නිවාස සංකීර්ණයක කළමනාකාරීත්වය විසින් පදිංචිකරුවන්ට කෙටි පණිවුඩයක් (SMS) යොමු කරමින් දැනුම් දී ඇත්තේ, අත්‍යවශ්‍ය අවස්ථාවලදී පමණක් ගෑස් භාවිත කරන ලෙසයි.

එම නිවාස සංකීර්ණයේ පවතින අවසන් ගෑස් තොගය මේ වනවිට භාවිත කරමින් සිටින බැවින්, හැකි සෑම අවස්ථාවකදීම විදුලියෙන් ක්‍රියාත්මක වන උපකරණ භාවිත කරන ලෙස ද පදිංචිකරුවන්ට දැනුම් දී ඇත.

මේ අතර, නාරාහේන්පිට ප්‍රදේශයේ පිහිටි තවත් මහල් නිවාස සංකීර්ණයක නොවැම්බර් මාසයට පමණක් ප්‍රමාණවත් ගෑස් තොග පවතින අතර, දෙසැම්බර් මාසය සඳහා අවශ්‍ය ගෑස් තොග නොමැතිවීම හේතුවෙන් එහි කළමනාකාරීත්වය ද ගැටලුවකට මුහුණ දී සිටිනවා.

ඇතැම් මහල් නිවාස සංකීර්ණ වෙත නිවෙස්වලටම ගෑස් සිලින්ඩර බෙදාහැරීමේ සේවාවන්ද මේ වනවිට අත්හිටුවා ඇති බව පදිංචිකරුවෝ පවසනවා.

එමෙන්ම, දිවයිනේ ප්‍රදේශ රැසක ජනතාව ද ඊයේ (04) දින පුරා ගෑස් හිඟය හේතුවෙන් දැඩි අපහසුතාවට පත්ව සිටි බව වාර්තා වුණා.

පවතින තත්ත්වය හමුවේ ලාෆ්ස් ගෑස් (LAUGFS Gas) සමාගම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ නොවැම්බර් මාසය තුළ ගෑස් රැගත් නෞකා තුනක් මෙරටට ගෙන්වීමට සැලසුම් කර ඇති බවයි.

ඒ අනුව, නොවැම්බර් 12 සිට 14 දක්වා සහ නොවැම්බර් 24 සිට 28 දක්වා කාලසීමාවලදී හම්බන්තොට වරායට ගෑස් නෞකා දෙකක් ද, නොවැම්බර් 15 සිට 17 දක්වා කාලය තුළ කොළඹ වරායට තවත් ගෑස් නෞකාවක් ද පැමිණීමට නියමිතව තිබෙනවා.

හම්බන්තොට ගෑස් පර්යන්තය හරහා දේශීය වෙළෙඳපොළට ගෑස් සැපයීම සඳහා මාස 03ක තාවකාලික අවසරයක් ඉල්ලමින් බලධාරීන් සමඟ සාකච්ඡා පවත්වන බවත්, 2027 ජනවාරි මාසයේ සිට කොළඹ වරායට සෘජුව ගෑස් සැපයීම වෙනුවෙන් නව ටෙන්ඩරයක් කැඳවා ඇති බවත් සමාගම වැඩිදුරටත් සඳහන් කරනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *