2026 නොවැම්බර් මාසය තුළ ශ්‍රී ලංකාවට LPG ගෑස් නැව්ගත කිරීම් තුනක් ගෙන්වා ගැනීමට අවශ්‍ය කටයුතු සූදානම් කර ඇති බව ලාෆ්ස් ගෑස් (LAUGFS Gas) සමාගම නිවේදනය කරනවා.
මීට අමතරව, හම්බන්තොට පිහිටි සිය LPG පර්යන්තය දේශීය වෙළෙඳපොළට ගෑස් සැපයීම සඳහා භාවිත කිරීමට අදාළ අනුමැතීන් ලබාගැනීමට බලධාරීන් සමඟ සාකච්ඡා පවත්වමින් සිටින බව ද සමාගම පේනවා දෙනවා.
වර්තමාන ගෑස් සැපයුම් බාධා හේතුවෙන් පාරිභෝගිකයන්ට මුහුණ දීමට සිදුව ඇති දුෂ්කරතා පිළිබඳව සිය කනගාටුව පළ කරන ලාෆ්ස් සමාගම, සැපයුම යථා තත්ත්වයට පත් කිරීමට අඛණ්ඩව කැපවී සිටින බව අවධාරණය කරනවා.
නොවැම්බර් මාසයේ දිවයිනට ළඟාවීමට නියමිත ගෑස් නැව් –
නොවැම්බර් 12 – 14: OQT සැපයුම්කරු (හම්බන්තොට වරාය)
නොවැම්බර් 15 – 17: Geogas සැපයුම්කරු (කොළඹ වරාය)
නොවැම්බර් 24 – 28: OQT සැපයුම්කරු (හම්බන්තොට වරාය)
මැදපෙරදිග කලාපයේ පවතින ගැටුම් සහ හෝමුස් සමුද්‍ර සන්ධියේ නාවික ප්‍රවාහන බාධා හමුවේ, ශ්‍රී ලංකාවේ සැපයුම් සුරක්ෂිතතාව වෙනුවෙන් ලාෆ්ස් සමාගම විසින් හම්බන්තොට මෙට්‍රික් ටොන් 30,000ක ගබඩා ධාරිතාවකින් යුත් පර්යන්තය සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 65ක ආයෝජනයක් සිදු කර තිබෙනවා.
කෙසේ වෙතත්, ආයෝජන මණ්ඩලයේ (BOI) ‘Commercial Hub’ රාමුවේ කොන්දේසි හේතුවෙන් මෙම පර්යන්තය දේශීය වෙළෙඳපොළට ගෑස් සැපයීම සඳහා භාවිත කිරීම සීමා වී පැවැති අතර, එම පර්යන්තය දේශීය සැපයුම් සඳහා භාවිත කිරීමට මාස තුනක තාවකාලික අවසරයක් ඉල්ලා ඇති බව සමාගම පවසනවා.
ජනාධිපතිවරයාගේ උපදෙස් මත, ඊට අදාළ අනුමැතීන් සතියක් ඇතුළත ලබාදීමට පියවර ගන්නා ලෙස භාණ්ඩාගාර ලේකම්වරයාට දැනුම් දී ඇති බව ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයා තහවුරු කර ඇති නමුත්, මෙතෙක් අදාළ අවසරය ලැබී නොමැති බව ලාෆ්ස් සමාගම පෙන්වා දෙනවා.
මේ අතර, ලාෆ්ස් ගෑස් පීඑල්සී සහ ලාෆ්ස් ටර්මිනල්ස් ලිමිටඩ් යන සමාගම් අමෙරිකා එක්සත් ජනපද භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවේ විදේශ වත්කම් පාලන කාර්යාලය (OFAC) විසින් සම්බාධක පනවා නම් කරන ලද ආයතන නොවන බව සමාගම වැඩිදුරටත් පැහැදිලි කරනවා.
තවද, 2027 ජනවාරි මාසයේ සිට කොළඹ වරාය වෙත සෘජුව LPG ගෙන්වීම සඳහා නව ටෙන්ඩරයක් ද කැඳවා ඇති අතර, අදාළ නියාමන අනුමැතීන් ලැබීමෙන් පසු ගෑස් බෙදාහැරීම් ක්‍රමානුකූලව යළි ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව ද ලාෆ්ස් සමාගම වැඩිදුරටත් දැනුම් දෙනවා.








Leave a Reply