ආර්ථික කටයුතු 08ක් සඳහා බදු ගෙවන්නන් හඳුනා ගැනීමේ අංකය (TIN) ඉදිරිපත් කිරීම අනිවාර්ය කිරීමත් සමඟ, මෙතෙක් එම අංකය ලබාගෙන නොමැති විශාල පිරිසක් අද (02) දිනයේ දේශීය ආදායම් දෙපාර්තමේන්තු කාර්යාල වෙත පැමිණ තිබෙනවා.
මේ හේතුවෙන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කොළඹ ප්‍රධාන කාර්යාලයේ මෙන්ම දිවයින පුරා පිහිටි ප්‍රාදේශීය කාර්යාලවල ද දැඩි පෝලිම් සහ තදබදයක් පැවති බව වාර්තා වනවා.
එමෙන්ම, TIN අංකය ලබා ගැනීම සඳහා අන්තර්ජාලය ඔස්සේ අයදුම් කිරීමට විශාල පිරිසක් එකවර යොමුවීම හේතුවෙන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියේ ද පද්ධතිමය බිඳවැටීම් (System congestion) හටගෙන ඇත.
ඒ අනුව හදිසි නඩත්තු කටයුතු සඳහා එම වෙබ් අඩවිය තාවකාලිකව අක්‍රිය කිරීමට පියවර ගෙන තිබුණා.
නොවැම්බර් 01 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි බැංකු ගිණුමක් විවෘත කිරීම, වාහනයක් ලියාපදිංචි කිරීම, ආදායම් බලපත්‍රයක් අලුත් කිරීම, ඉඩම් හා ව්‍යාපාර ලියාපදිංචිය ඇතුළු ප්‍රධාන ආර්ථික කටයුතු 08ක් සඳහා TIN අංකය ඉදිරිපත් කිරීම අනිවාර්ය කිරීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.
TIN අංකය ලබා ගැනීම සඳහා ජනතාව එකවර පැමිණීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක, කොමසාරිස් නන්දන කුමාර මහතා සඳහන් කළේ, අත්‍යවශ්‍ය අවශ්‍යතාව මතුවන පරිදි පමණක් TIN අංකය ලබා ගැනීමට අදාළ කාර්යාල වෙත යොමුවන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවයි.
“2026 නොවැම්බර් මස පළමුවැනිදා සිට ආර්ථික ක්‍රියාකාරකම් අටක් සඳහා TIN අංකය අනිවාර්ය කර තිබෙනවා. වයස අවුරුදු 18ට වැඩි සියලු දෙනා TIN අංකයක් ලබාගත යුතු බවට 2024 ජනවාරි පළමුවැනිදා සිට නීතිමය අවශ්‍යතාවක් පවතිනවා. TIN අංකය ලබා ගැනීම සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයට හෝ ප්‍රාදේශීය කාර්යාලයකට පැමිණීමේදී, අදාළ ආර්ථික ක්‍රියාකාරකම් අට සඳහා එම අංකය අත්‍යවශ්‍ය වන පුද්ගලයන් පමණක් අදාළ අංශ වෙත යොමුවන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
කෙසේ වෙතත්, අනෙකුත් පුද්ගලයන් සඳහා ද TIN අංක නිකුත් කිරීමේ ක්‍රියාවලිය අඛණ්ඩව සිදු කරනවා. ඒ නිසා කලබල වීමේ අවශ්‍යතාවක් නැහැ. කාර්යාල කටයුතු පහසුවෙන් කළමනාකරණය කර ගැනීම සඳහා මහජනතාවගේ සහයෝගය අපේක්ෂා කරනවා. යම් පුද්ගලයෙකුට ආදායම් බලපත්‍රයක් අලුත් කිරීම සඳහා TIN සහතිකයේ පිටපතක් ඉදිරිපත් කළ හැකියි. ඒ නිසා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද TIN සහතිකය ආරක්ෂිතව ළඟ තබාගෙන, අදාළ ආයතන වෙත ඉදිරිපත් කිරීමේදී එහි පිටපතක් භාවිත කරන ලෙසත් මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.”







Leave a Reply