Loading...

ඉන්ධන මිල ඉහළ යාම – බස් ගාස්තු සහ ත්‍රීරෝද රථ ගාස්තුවලට මොනවා වෙයිද?

ඉන්ධන මිල ඉහළ ගියද බස් ගාස්තු සංශෝධනයක් සිදු නොවන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා.

එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කළේ, පවතින ඉන්ධන මිල ඉහළ යාම බස් ගාස්තු සංශෝධනය සඳහා බලපාන මිල සූත්‍රයට අනුව 04%ක ප්‍රතිශතයට ළඟා වී නොමැති බැවින් ගාස්තු සංශෝධනයක් සිදු කළ නොහැකි බවයි.

කෙසේ වෙතත්, මේ වන විටත් පෞද්ගලික බස් කර්මාන්තය දැඩි අලාභ ලබමින් පවත්වාගෙන යන බව පැවසූ ඒ මහතා, කෙටි ගමන්වාර සේවාවලදී දෛනිකව රුපියල් 1,000ක සහ දුරගමන් සේවාවලදී රුපියල් 2,000ක පාඩුවක් සිදු වන බවද පෙන්වා දුන්නා.

“ඩීසල් රුපියල් 5කින් වැඩිවෙලා කියලා දැනගන්න ලැබුණා. දැනට රුපියල් 15කින් වැඩිවෙලා තියෙනවා ඩීසල් ලීටරයකින්. නමුත් බස් කර්මාන්තයට පාඩුවක් තමයි ඒක. අපි ප්‍රතිපත්තිමය තීරණයක් අරගෙන එදා ඉඳන්ම මිල සූත්‍රය අනුව 4%ක ප්‍රතිශතයකට ආවාම තමයි අපිට බස් ගාස්තුව වැඩි කරන්න වෙන්නේ. මේ අවස්ථාවේදී 4%ක ප්‍රතිශතය ඇවිත් නෑ. ඒ නිසා අපිට බස් ගාස්තුව වැඩි කරන්න නෛතික හැකියාවක් නෑ. කෙසේ වෙතත් අපිට වෙලා තියෙන්නේ පාඩුවට මේ බස් කර්මාන්තය ඇදගෙන යන්න. සාමාන්‍යෙන් කෙටි සේවාගමන්වලදි රුපියල් 1000ක පාඩුවක් දෛනිකව සිදුවෙනවා දුර සේවාවලදි රුපියල් 2000ක පාඩුවක් දෛනිකව සිද්ධ වෙනවා.”

මේ අතර, ඉහළ ගිය ඉන්ධන මිලට සාපේක්ෂව ත්‍රීරෝද රථ ගාස්තු ඉහළ දැමීමට සැලසුම් කර ඇති බව ජාතික ඒකාබද්ධ ත්‍රීරෝද රථ රියදුරන්ගේ හා කර්මාන්තකරුවන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් එල්. රෝහණ පෙරේරා මහතා ප්‍රකාශ කළා.

ඒ අනුව, දැනට පළමු කිලෝමීටරය සඳහා අය කරනු ලබන රුපියල් 110ක ගාස්තුව රුපියල් 120 දක්වා රුපියල් 10කින් සංශෝධනය විය යුතු බව ද ඒ මහතා වැඩිදුරටත් පැවසුවා.

“ගිය මාසයෙත් වැඩි කරා. අපි ඉල්ලීම කරා අපිට සද්දයක් නැහැ. දැන් මේ මාසයෙත් වැඩි වෙලා තියෙනවා. දැන් මේක රුපියල් 25කින් වැඩි වෙලා තියෙනවා. ඊට සාපේක්ෂව අපි පරිභෝජනය කරන සියලු දේ වැඩි වෙලා තියෙනවා. අද ගෑස් හොයාගන්න නැහැ. ඉතින් මේක අන්තෝ ජටා බහි ජටා වගේ අපිව නන්නත්කාර වෙන ක්‍රමවේදයක් තියෙන්නේ. මේක පාරිභෝගිකයා තේරුම් ගන්න ඕනේ. දැන් මේ වෙනකොට අපි ධාවනය කරන්නේ රුපියල් 110යි. පළවෙනි කිලෝමීටරයේ සංශෝධනය විය යුතු ගාස්තුව රුපියල් 120කට, දෙවෙනි කිලෝමීටරයේ ඉඳන් අපි මේ වෙනකොට අය කරන්නේ රුපියල් 90යි. ඒක රුපියල් 100ක් විය යුතුයි කියන එක තමයි අපේ යෝජනාව වෙන්නේ. ඒක අපි අරගෙන යනවා ජාතික ගමනාගමන කොමිෂන් සභාවට. අපි බලමු ඉස්සරහට මේ ඉදිරි ඉදිරි කීපය තුළදී ඒ අයගේ ප්‍රතිචාර. එහෙම නැති වුණොතින් එහෙම අපිට යන්න වෙනවා අනිවාර්යයෙන්ම අපේ මීටර සංශෝධනය, ඒ කියන්නේ ගාස්තු මීටරය සංශෝධනය කරන ආයතනත් එක්ක කතා කරලා මේක ගෙනියන්න විදියක් නැති වෙනවා. අපි එහෙම්පිටින්ම අසරණතාවයකට පත් වෙනවා.”


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *