Loading...

‘කජ්ජා’ සහ දරු දෙදෙනා ඝාතනයේ සැකකාරියක් මෙරටට රැගෙන එයි

හුංගම ප්‍රදේශයේදී “කජ්ජා” නමැත්තා සහ ඔහුගේ දරු දෙදෙනා වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සඳහා අත්‍යවශ්‍යව සිටි ප්‍රධාන පෙළේ සැකකාරියක් වන අචිනි නොහොත් අනෝෂා ලක්මාලි නැමැති කාන්තාව ඩුබායි රාජ්‍යයේදී අත්අඩංගුවට ගෙන අද (27) අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙනවිත් තිබෙනවා.

මිද්දෙණිය, කටුවන ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි වියේ පසුවන මෙම සැකකාරිය ඝාතනයට ලක් වූ “කජ්ජා” නැමැත්තා සමඟ සමීප සබඳතා පවත්වා ඇති බවට පොලිස් විමර්ශනවලදී හෙළි වී ඇත.

පොලිසිය සඳහන් කරන්නේ, ඝාතනය සිදුවන අවස්ථාවේදී “කජ්ජා” වෙත අවසාන දුරකථන ඇමතුම සහ කෙටි පණිවිඩය ලබා දී ඇත්තේ ද මෙම සැකකාරිය බවයි.

තවද, “බැකෝ සමන්” නැමැත්තාගේ උපදෙස් මත, ආහාර ගැනීම සඳහා “කජ්ජා” සහ දරු දෙදෙනා අදාළ අවන්හල වෙත උපායශීලීව කැඳවාගෙන ගොස් ඇත්තේ ද ඇය විසින් බව වැඩිදුරටත් අනාවරණය වී තිබෙනවා.

එලෙස ආහාර ගැනීමට පැමිණි අවස්ථාවේදී මෙම මාරාන්තික වෙඩි ප්‍රහාරය එල්ල වී තිබුණා.

ඩුබායි රාජ්‍යයේ සැඟව සිටියදී එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කර සිටි මෙම සැකකාරිය මෙරටට රැගෙන ඒම සඳහා විශේෂ පොලිස් නිලධාරීන් කණ්ඩායමක් එරට වෙත ගොස් තිබුණා.

ඒ අනුව, අද (27) අලුයම 05.20 ට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ UL-226 දරන ගුවන් යානයෙන් ඇය කටුනායක ගුවන් තොටුපොළ වෙත ළඟා වූවා.

එහිදී ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් ඇයගෙන් මූලික ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව, දැඩි ආරක්ෂක රැකවල් මධ්‍යයේ වැඩිදුර විමර්ශන සඳහා කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු මූලස්ථානය වෙත රැගෙන ගොස් ඇත.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *