Loading...

කාන්තා ආසියානු ක්‍රිකට් කුසලානය ඉන්දියාව දිනාගනී

ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැති අවසන් මහා තරගය ලකුණු 72කින් ජයගනිමින් කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරතාව තමන් සතු කරගැනීමට ඉන්දීය කණ්ඩායම අද (13) සමත් වුණා.

තරගයේ කාසියේ වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 5ක් දැවී ලකුණු 183ක් රැස්කළා.

එහිදී විශිෂ්ට ඉනිමවල නිරත වූ ශෆාලි වර්මා ලකුණු 68ක් සහ ස්ම්‍රිති මන්දනා ලකුණු 59ක් ලබාගැනීමට සමත් වූහ. පන්දු යැවීමේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් මිතලි අයෝධ්‍යා, චමරි අතපත්තු සහ චමුදි ප්‍රබෝධා එක් කඩුල්ල බැගින් දවාගත්තා.

අනතුරුව ලකුණු 184ක ජයග්‍රාහී ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා කණ්ඩායමට නියමිත පන්දුවාර 20 තුළ සියලුදෙනා දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 111ක් පමණි.

ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් නායිකා චමරි අතපත්තු ලකුණු 36ක් රැස්කළ අතර, පන්දු යැවීමේදී දක්ෂ ලෙස පන්දු යැවූ ඉන්දියාවේ ශ්‍රී චරනි කඩුලු 4ක් බිඳහෙළීමට සමත් වූණා.

මේ අතර ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ (ACC) සහ පාකිස්තානු ක්‍රිකට් මණ්ඩලයේ සභාපති වන මොහ්සින් නක්වි (Mohsin Naqvi) අතින් ආසියානු කුසලානය භාරගැනීම ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

මෙම සිදුවීමත් සමග තරගයෙන් අනතුරුව පැවැති ත්‍යාග ප්‍රදානෝත්සවය මිනිත්තු 50කට ආසන්න කාලයක් ප්‍රමාද වූ අතර, ඉන්දීය කණ්ඩායම ත්‍යාග ප්‍රදානෝත්සවයට සහභාගී නොවී ක්‍රීඩක විවේකාගාරයේම රැඳී සිටීමට පියවර ගෙන තිබුණා.

ත්‍යාග ප්‍රදානෝත්සවයේදී අනුශූරතාව දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායමට හිමි පදක්කම් සහ චෙක්පත මොහ්සින් නක්වි අතින් පිරිනැමූ නමුත්, ජයග්‍රාහී ඉන්දීය කණ්ඩායමට කුසලානය පිරිනැමීමකින් තොරව උත්සවය හදිසියේම අවසන් කිරීමට සංවිධායකයින්ට සිදුවුණා.

පසුගිය වසරේ පැවැති පිරිමි ආසියානු කුසලාන තරගාවලියේදී ද ඉන්දීය පිරිමි කණ්ඩායම මොහ්සින් නක්විගෙන් කුසලානය ලබාගැනීම ප්‍රතික්ෂේප කළ අතර, ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ (BCCI) උපදෙස් මත මෙවර කාන්තා කණ්ඩායම ද එම පියවරම අනුගමනය කර ඇති බව වාර්තා වනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *