Loading...

ශ්‍රී ලංකාවෙන් ඩොලර් මිලියනයක ආධාරය නේපාල රජයට නිල වශයෙන් පිරිනමයි

නේපාලයේ භෝතේ කෝෂි (Bhote Koshi) නදිය ආශ්‍රිතව හටගත් දැවැන්ත ගංවතුර තත්ත්වයෙන් රසුවා, නුවාකොට් සහ ඩාඩිං ඇතුළු දිස්ත්‍රික්කවල සිදු වූ විපතින් පීඩාවට පත් ජනතාව වෙනුවෙන් ශ්‍රී ලංකා රජය විසින් අමෙරිකානු ඩොලර් මිලියනයක (USD 1 Mn) මූල්‍ය පරිත්‍යාගයක් ප්‍රදානය කර තිබෙනවා.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උපදෙස් පරිදි ලබා දුන් මෙම මූල්‍ය ආධාරය, නේපාලයේ ශ්‍රී ලංකා තානාපති රුවන්ති දෙල්පිටිය මහත්මිය විසින් කාත්මණ්ඩු නුවර පිහිටි නේපාල විදේශ අමාත්‍යාංශයේදී එරට විදේශ අමාත්‍ය ශිෂිර් ඛනාල් (Shisir Khanal) මහතා වෙත නිල වශයෙන් භාර දෙන ලදී.

මෙහිදී ශ්‍රී ලංකා තානාපතිනිය ශ්‍රී ලංකා රජය සහ ජනතාව වෙනුවෙන් නේපාලයට සිය බලවත් ශෝකය සහ සහයෝගීතාව පළ කළ අතර, ජීවිතක්ෂයට පත් වූවන්ගේ පවුල් වෙත ද ශෝකය ප්‍රකාශ කළා.

නේපාල රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන මානුෂීය සහන සහ යථා තත්ත්වයට පත් කිරීමේ මෙහෙයුම් සඳහා සහාය වීම මෙම ආධාරයේ ප්‍රධාන අරමුණයි. මෙමගින් දෙරට අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය තවදුරටත් තහවුරු වන බවත්, ඕනෑම දුෂ්කර අවස්ථාවකදී නේපාලය සමඟ අත්වැල් බැඳගැනීමට ශ්‍රී ලංකාව සූදානම් බවත් මෙහිදී වැඩිදුරටත් අවධාරණය කෙරුණා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *