Loading...

ඩිජිටල් රක්ෂණ කාඩ්පත් ප්‍රතික්ෂේප කළොත් පැමිණිලි කරන්න අංකයක් – වරදකරුවන්ට දැඩි විනය පියවර

ඩිජිටල් රක්ෂණ කාඩ්පත් (Digital Insurance Cards) පරීක්ෂා කිරීම සම්බන්ධයෙන් පොලිස්පතිවරයා ලබාදී ඇති උපදෙස් හා මාර්ගෝපදේශ උල්ලංඝනය කරමින් රියදුරන් අපහසුතාවයට පත්කිරීම බරපතළ රාජකාරි පැහැරහැරීමක් බව රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්.පී.ජේ. සේනාධීර මහතා පවසනවා.

අද (03) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළේ, පාදුක්ක සහ ගම්පහ යන පොලිස් ස්ථානවල නිලධාරීන් කිහිපදෙනෙකු ඩිජිටල් රක්ෂණ කාඩ්පත් පිළිගැනීම ප්‍රතික්ෂේප කරමින් මහජනතාව පීඩාවට පත්කර ඇති බවට වාර්තා වී ඇති බවයි.

2026.05.05 වන දින නිකුත් කරන ලද R.T.M. 93 පණිවුඩය මගින් දිවයිනේ සියලුම පොලිස් ස්ථාන වෙත දැනුම් දී ඇත්තේ, රක්ෂණ නියාමන කොමිෂන් සභාව අනුමත කළ ප්‍රමුඛ රක්ෂණ ආයතන 14ක් නිකුත් කරනු ලබන ඩිජිටල් රක්ෂණ කාඩ්පත් නිල වශයෙන් පිළිගන්නා ලෙසයි. 2006 අංක 19 දරන විද්‍යුත් ගනුදෙනු පනත ප්‍රකාරව මේ සඳහා පූර්ණ නීතිමය පිළිගැනීම හිමි වනවා.

රියදුරෙකු සතුව ඩිජිටල් රක්ෂණ කාඩ්පත නොමැති අවස්ථාවකදී වුවද, පහත සඳහන් නොමිලේ සපයන ක්‍රමවේද ඔස්සේ රක්ෂණාවරණයේ සක්‍රියතාව තහවුරු කරගැනීමට පොලිස් නිලධාරීන්ට හැකියාව ඇත.

*1338# ඇමතීමෙන් රක්ෂණ අංකය හෝ වාහන අංකය ඇතුළත් කර තොරතුරු ලබාගැනීම

1338 අංකයට කෙටි පණිවිඩයක් (SMS) යැවීම

1338 ක්ෂණික ඇමතුම් මධ්‍යස්ථානය (Call Center) ඇමතීම

මේ පිළිබඳව දිවයින පුරා පිහිටි පොලිස් ස්ථාන 607 හිම ස්ථානාධිපතිවරුන් මාර්ගයෙන් පහළ නිලධාරීන් නැවත දැනුවත් කිරීමට පියවර ගෙන තිබෙනවා.

නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ යම්කිසි පොලිස් නිලධාරියෙකු ඩිජිටල් රක්ෂණ කාඩ්පත පිළිගැනීම ප්‍රතික්ෂේප කරන්නේ නම්, ඒ පිළිබඳව ළඟම පිහිටි පොලිස් ස්ථානාධිපතිවරයාට හෝ රථවාහන මූලස්ථානයේ 070 47 55 600 යන විශේෂ දුරකථන අංකයට පැමිණිලි කරන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටින අතර, එවැනි නිලධාරීන්ට එරෙහිව දැඩි විනය පියවර ගන්නා බවයි.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *