22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව ඉදිරිපත්ව ඇති පෙත්සම් සලකා බැලීම අද (02) යළි ආරම්භ කිරීමට නියමිතයි.
අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතාගේ සභාපතිත්වයෙන් යුත් පංච පුද්ගල ශ්‍රේඨාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ ඊයේ (01) පෙත්සම් 67ක් සලකා බැලීම ආරම්භ වූ අතර, එම විමර්ශනය ඊයේ රාත්‍රී 10.30 පමණ වන තෙක් දීර්ඝ ලෙස සිදුවූ බවයි වාර්තා වන්නේ.
පෙත්සම් සලකා බැලීම ආරම්භ වූ අවස්ථාවේදී මෙම පනත් කෙටුම්පත මඟින් අධිකරණයේ ස්වාධීනත්වයට සහ අගවිනිසුරුවරයාගේ ධූර කාලයට බලපෑම් සිදුවන බැවින්, සියලුම විනිසුරුවරුන්ගෙන් සමන්විත පූර්ණ විනිසුරු මඬුල්ලක් හමුවේ මෙය විභාග කරන ලෙස පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ එම්.ඒ. සුමන්තිරන් මහතා ඇතුළු නීතිඥ පිරිස අධිකරණයෙන් ඉල්ලා සිටියා.
කෙසේ වෙතත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව විනිසුරු මඬුල්ල තීරණය කිරීමේ සම්පූර්ණ අභිමතය අගවිනිසුරුවරයා සතු බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි සොලිසිටර් ජෙනරාල් විරාජ් දයාරත්න මහතා පෙන්වා දුන්නා.
ඉදිරිපත් වූ සියලු කරුණු සලකා බැලූ පංච පුද්ගල ශ්‍රේඨාධිකරණ විනිසුරු මඬුල්ල, පූර්ණ විනිසුරු මඬුල්ලක් ලබාදීමේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් නියෝග කළේ නම් කර සිටි පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේම පෙත්සම් සලකා බැලීම සිදුකරන බවයි.
එහිදී වැඩිදුරටත් කරුණු දැක්වූ ජනාධිපති නීතිඥ අලි සබ්රි සහ ශ්‍රීනාත් පෙරේරා යන මහත්වරුන් පෙන්වා දුන්නේ මෙම පනත් කෙටුම්පත මඟින් විනිසුරුවරුන්ගේ නිදහසට සෘජු හෝ වක්‍ර බලපෑම් සිදුවන බැවින්, යෝජිත සංශෝධනය සම්බන්ධයෙන් තීරණය කිරීම ජනමත විචාරණයකින් ජනතාවට භාර කළ යුතු බවයි.
අද (02) දිනයේදී පෙත්සම්කාර පාර්ශ්වයේ වැඩිදුර දේශන, අතරමැදි පෙත්සම්කරුවන්ගේ සහ නීතිපතිවරයාගේ කරුණු දැක්වීම් සිදුවීමට නියමිතයි.








Leave a Reply