Loading...

නිරූපණ ශිල්පිනී චූලා පද්මේන්ද්‍රගේ මරණයට විවෘත තීන්දුවක්

ප්‍රසිද්ධ නිරූපණ ශිල්පිනී චූලා පද්මේන්ද්‍ර මහත්මියගේ සැකකටයුතු මරණය සම්බන්ධයෙන් සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණයේදී විවෘත තීන්දුවක් ලබාදී තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ, පශ්චාත් මරණ පරීක්ෂණයේදී ඇයගේ සිරුරේ බාහිර හෝ අභ්‍යන්තර තුවාල කිසිවක් දක්නට නොලැබුණු අතර වැඩිදුර විමර්ශන සඳහා මළ සිරුරේ කොටස් රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කිරීමට පියවර ගත් බවයි.

45 හැවිරිදි චූලා පද්මේන්ද්‍ර මහත්මිය පසුගිය 31 වනදා පිළියන්දල, තුම්බෝවිල ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුට අයත් නිවසක ඇඳක් මත මියගොස් සිටියදී සොයා ගැනුණා.

පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ ඇය අදාළ ව්‍යාපාරිකයා සමඟ ප්‍රේම සබඳතාවක් පවත්වා ඇති බවත්, 30 වනදා බත්තරමුල්ලේ පැවති උත්සවයකින් අනතුරුව 31 වනදා අලුයම ඔහුගේ නිවසට පැමිණ ඇති බවත්ය.

පසුව ඇය කාමරයක නින්දට ගොස් ඇති අතර, දහවල් 12.45ට පමණ ඇයව අවදි කිරීමට උත්සාහ කළද ප්‍රතිචාර නොදැක්වීම හේතුවෙන් 1990 ගිලන් රථ සේවය කැඳවා තිබෙනවා.

එහිදී සෞඛ්‍ය සේවකයින් පරීක්ෂා කර ඇය මියගොස් ඇති බව තහවුරු කර ඇත.

මේ අතර ඇය නිදා සිටි ඇඳ ඇතිරිල්ලේ ලේ පැල්ලමක් තිබීම සම්බන්ධයෙන් අදාළ ව්‍යාපාරිකයා පිළියන්දල පොලිසියට පැමිණිලි කර ඇති අතර, මියගිය නිරූපණ ශිල්පිනියගේ මවද පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

කැස්බෑව වැඩබලන මහෙස්ත්‍රාත් සුනේත්‍රා පෙරේරා මහත්මිය සිද්ධිය වූ ස්ථානය පරීක්ෂා කිරීමෙන් අනතුරුව, කළුබෝවිල ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී බී.සී.එම්. රුද්‍රිගු මහතා විසින් පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකර ඇත.

පිළියන්දල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චමින්ද කුලසිංහ මහතාගේ උපදෙස් මත වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *