Loading...

පාර්ලිමේන්තුවේ කථානායක සහ නිලධාරීන් සීමා රහිතව ඉන්ධන අරන් – විගණනයෙන් හෙළිදරව්වක්

8 වන සහ 9 වන පාර්ලිමේන්තු සභාවාරයන්හිදී කථානායක, නියෝජ්‍ය කථානායක ඇතුළු නිලධාරීන් පිරිසක් සීමාරහිත ලෙස ඉන්ධන සහ නිල වාහන භාවිත කරමින් සිදුව ඇති අක්‍රමිකතා රැසක් පිළිබඳ තොරතුරු විශේෂ විගණන වාර්තාවක් මගින් හෙළිදරව් කර තිබෙනවා.

කථානායකවරයාගේ ඉන්ධන භාවිතය
කථානායකවරයාට ඉන්ධන භාවිතය සඳහා කිසිදු සීමාවක් පනවා නොතිබීම හේතුවෙන් 2022 වසරට සාපේක්ෂව 2023 සහ 2024 වසරවලදී පිළිවෙළින් 66%ක සහ 155%ක ප්‍රශ්නගත ඉන්ධන භාවිතයේ වර්ධනයක් සිදු වී ඇති බවයි එම වාර්තාවේ දැක්වෙන්නේ.

2023 වසරේදී: මාසිකව ඉන්ධන ලීටර් 3,994ක් (වාර්ෂික වියදම රුපියල් 19,373,866ක්)

2024 වසරේදී: මාසිකව ඉන්ධන ලීටර් 6,122ක් (වාර්ෂික වියදම රුපියල් 26,045,103ක්)

නියෝජ්‍ය කථානායක සහ කාරක සභා සභාපති
නියෝජ්‍ය කථානායක ධුරය කැබිනට් නොවන අමාත්‍ය ධුරයකට සමාන කර වරප්‍රසාද ලබා දුන්නද, පනවා තිබූ ඉන්ධන සීමාවන් නොසලකා සීමාරහිතව ඉන්ධන ලබා දී තිබෙනවා.

හිමි නිල වාහන 03ට අමතරව පෞද්ගලික වාහනයක් සඳහාද 2023 සහ 2024 කාලය තුළ රුපියල් 8,545,037ක් වටිනා ඉන්ධන ලීටර් 21,299ක් ලබාගෙන තිබීම.

නිල වාහන සඳහාද නියමිත සීමාව ඉක්මවා 2023දී ලීටර් 6,980ක් සහ 2024දී ලීටර් 1,515ක් ලබාගෙන තිබීම.

කාරක සභා සභාපති තනතුරටද නිල වාහන 03ක් වෙන්කර කිසිදු සීමාවකින් තොරව ඉන්ධන ලබා දී තිබීම.

පාර්ලිමේන්තු මහලේකම්වරයාගේ එකවර වාහන භාවිතය
2022 සහ 2023 වසරවලදී පාර්ලිමේන්තු මහ ලේකම්වරයා එකවර නිල වාහන දෙකක් ධාවනය සඳහා ලබාගෙන ඇති බවට විගණනයේදී හෙළි වී තිබෙනවා.

2022 සිට 2024 දක්වා කාලය තුළ රුපියල් 6,071,690ක් වටිනා ඉන්ධන ලීටර් 15,063ක් භාවිත කර ඇති අතර, එය රාජ්‍ය සේවයේ ඉහළම ඉන්ධන සීමාව හිමි අමාත්‍යාංශ ලේකම්වරයෙකුට වඩා ලීටර් 2,300ක වැඩිපුර ලබාගැනීමක්.

අනෙකුත් නිලධාරීන් සහ රජයට සිදු වූ පාඩුව
නියෝජ්‍ය මහ ලේකම්, සහකාර මහ ලේකම් ඇතුළු දෙපාර්තමේන්තු ප්‍රධානීන්ට රාජකාරි ගමන් සඳහා සීමාරහිත ඉන්ධන සහ පෞද්ගලික ගමන් සඳහා අමතර කිලෝමීටර් ප්‍රමාණයක් වෙන්කර දී තිබූ අතර, මෙය අනෙකුත් රාජ්‍ය නිලධාරීන්ට නොමැති විශේෂ වරප්‍රසාදයක් බවයි සඳහන් වන්නේ.

එමෙන්ම 2015 සැප්තැම්බර් සිට 2022 ජූනි දක්වා කාලය තුළ පෞද්ගලික ගමන් සඳහා සීමාව ඉක්මවා ධාවනය කළ කිලෝමීටරයකට අයකර ඇත්තේ රුපියල් 8ක මුදලක් පමණයි. පවතින වෙළෙඳපොළ මිල ගණන් අනුව අය නොකිරීම හේතුවෙන් සහකාර පාර්ලිමේන්තු මහ ලේකම්වරුන් දෙදෙනාගෙන් පමණක් රජයට අයවිය යුතුව තිබූ රුපියල් 2,712,995ක මුදලක් අහිමි වී ඇති බවද විගණන වාර්තාව මගින් වැඩිදුරටත් පෙන්වා දෙනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *