Loading...

‘මහර සිද්ධිය මීගමුවේ ගැටුමට සමාන නැහැ’ – අමාත්‍ය හර්ෂණ නානායක්කාර

මහර බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්තාව මීගමුව බන්ධනාගාරයේ මීට පෙර වාර්තා වූ සිද්ධියට වඩා ස්වභාවයෙන් වෙනස් බව අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පවසනවා.

අද (02) පස්වරුවේ මහර බන්ධනාගාරයේ වත්මන් තත්ත්වය පිළිබඳව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ, මීගමුව බන්ධනාගාරයේ ගැටුම රැඳවියන් අතර ඇති වූ එකක් වූ නමුත්, මහර බන්ධනාගාරයේ සිද්ධිය හටගෙන ඇත්තේ රැඳවියන් සහ බන්ධනාගාර පරිපාලනය අතර බවයි.

එමෙන්ම මෙවැනි නොසන්සුන්කාරී තත්ත්වයන් ඇති කිරීම සඳහා බාහිර පාර්ශ්වයක් සංවිධානාත්මක ලෙස ක්‍රියාකර තිබේද යන්න පිළිබඳව සැකයක් මතුව ඇති බව ද ඔහු ප්‍රකාශ කළා.

මීට පෙර එවැනි හේතුවකින් තොරව මෙවැනි සිදුවීම් වාර්තා වී නොමැති බව පෙන්වා දුන් අමාත්‍යවරයා, ඒ සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කරන බව සඳහන් කළා.

බන්ධනාගාරවල පවතින තදබදය ද මෙවැනි නොසන්සුන් තත්ත්වයන්ට බලපාන එක් හේතුවක් බව පෙන්වා දුන් ඔහු, එම ගැටලුව වත්මන් රජය බලයට පත්වීමට පෙර සිටම පැවති බවත්, බන්ධනාගාර තදබදය අවම කිරීම සඳහා මේ වන විට ක්‍රියාමාර්ග රැසක් ගෙන ඇති බවත් කියා සිටියා.

නොසන්සුන්තාව අතරතුර රැඳවියන් විසින් පොදු දේපොළවලට සිදු කළ හානි සම්බන්ධයෙන් ද වෙනම විමර්ශනයක් පවත්වන බව සඳහන් කළ අමාත්‍යවරයා, වගකිවයුත්තන් හඳුනාගෙන ඔවුන්ට එරෙහිව දැඩි නීතිමය පියවර ගන්නා බවත් අවධාරණය කළා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *