මීගමුව බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය මේ වනවිට ආරක්ෂක අංශ විසින් පාලනය කර ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා.
පොලීසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ (STF) නිලධාරීන් විශාල පිරිසක් බන්ධනාගාරය අවට සහ ඇතුළත ආරක්ෂාවට යොදවා ඇති අතර, කාන්තා රැඳවියන් පිරිසක් තවදුරටත් විරෝධතාවයේ නිරත වන බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් ඒ.සී. ගජනායක මහතා සඳහන් කළා.
ඊයේ (06) රාත්‍රියේ බන්ධනාගාරයේ තත්ත්වය නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව පැවසුවා.
මේ අතර රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ ගැටුමෙන් බරපතළ තුවාල ලැබූ පුද්ගලයින් 20 දෙනෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට මාරුකර යවා ඇති අතර, ඔවුන්ගෙන් කිහිපදෙනෙකුගේ තත්ත්වය බරපතළ බවයි.
තවත් පුද්ගලයින් 58 දෙනෙකු මේ වනවිටත් මීගමුව මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිනවා.
පසුගිය 05 වැනිදා මීගමුව බන්ධනාගාරයේ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ පිරිසක් සහ ඊට විරෝධය දක්වන රැඳවියන් අතර ඇති වූ ගැටුමෙන් රැඳවියන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර තවත් 34 දෙනෙකු තුවාල ලැබුවා.
ඊයේ (06) පෙරවරුවේ නැවතත් ඇති වූ ගැටුමේදී තත්ත්වය පාලනය කිරීමට මැදිහත් වූ බන්ධනාගාර නිලධාරීන්ට රැඳවියන් විසින් පහරදී තිබූ බව වාර්තා වනවා.
එම සිද්ධියෙන් බන්ධනාගාර නිලධාරීන් සහ රැඳවියන් ඇතුළු 100කට අධික පිරිසක් තුවාල ලැබූ අතර, බන්ධනාගාර නිලධාරීන් 7 දෙනෙකු සහ රැඳවියන් 17 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වී තිබෙනවා.
මේ අතර මීගමුව බන්ධනාගාර සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාශය (CCD) සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විමර්ශන ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළා.
පොලිසිය සඳහන් කළේ මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව විමර්ශන ආරම්භ කර ඇති අතර, සිද්ධියේ සියලු කරුණු සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් ක්‍රියාත්මක බවයි.
මේ අතර, බන්ධනාගාරයේ රැඳී සිටි රැඳවියන් 700 දෙනෙකුගේ ආරක්ෂාව සැලකිල්ලට ගනිමින් ඔවුන් අඟුණකොළපැලැස්ස, දුම්බර, අනුරාධපුර, පොළොන්නරුව සහ කුරුවිට බන්ධනාගාර වෙත මාරුකර යැවීමට පියවර ගෙන තිබෙනවා.
අදාළ ප්‍රචණ්ඩකාරී සිද්ධිය පිළිබඳ විධිමත් හා පුළුල් විමර්ශනයක් සිදුකිරීම සඳහා විශේෂ කමිටුවක් පත් කිරීමට ද අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.
ඒ අනුව විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතාගේ සභාපතිත්වයෙන් කමිටුව පත්කර ඇති අතර, විශ්‍රාමික අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ මිලින්ද ගුණතිලක මහතා සහ ජනාධිපති නීතිඥ මොහාන් වීරකෝන් මහතා එහි සෙසු සාමාජිකයන් ලෙස කටයුතු කරනවා.
සිද්ධියට හේතු වූ කරුණු, ගතයුතු ක්‍රියාමාර්ග සහ මෙවැනි සිදුවීම් යළි ඇතිවීම වැළැක්වීම සඳහා වන නිර්දේශ ඇතුළත් වාර්තාවක් කමිටුව විසින් රජයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
මේ අතර, ගැටුමෙන් මියගිය පුද්ගලයින්ගේ පශ්චාත් මරණ පරීක්ෂණ අද (07) පැවැත්වීමට නියමිත අතර, මියගිය රැඳවියන් හඳුනා ගැනීම සඳහා ඔවුන්ගේ ඥාතීන්ට අවස්ථාව ලබාදී ඇති බව මීගමුව මහ රෝහල සඳහන් කළා.
රෝහල් ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ රෝහලේ ප්‍රදර්ශනය කර ඇති ඡායාරූප මඟින් මියගිය පුද්ගලයින් හඳුනා ගැනීමට අද දිනය තුළ අවස්ථාව සලසා ඇති බවයි.






Leave a Reply