ශ්‍රී ලංකා ටෙනිස් ක්‍රීඩාව වෘත්තීය මට්ටමට ඔසවා තැබීමේ අරමුණින් ආරම්භ කරන ලද ශ්‍රී ලංකා ටෙනිස් ප්‍රිමියර් ලීගය (SLTPL) නිල වශයෙන් එළිදැක්වීම කොළඹදී පැවැත්වුණා.
ශ්‍රී ලංකා ටෙනිස් සංගමය සංවිධානය කළ මෙම අවස්ථාවට ක්‍රීඩා හා ව්‍යාපාරික ක්ෂේත්‍ර නියෝජිතයන් රැසක් එක්ව සිටි අතර, අනාගත ෆ්‍රැන්චයිස් හිමිකරුවන්, අනුග්‍රාහකයන් සහ උපායමාර්ගික හවුල්කරුවන්ගේද සහභාගීත්වය හිමිව තිබුණා.
SLTPL මංගල තරගාවලිය ලබන අගෝස්තු 27 සිට 30 දක්වා පැවැත්වීමට නියමිත අතර, ෆ්‍රැන්චයිස් කණ්ඩායම් හයක් නියෝජනය කරමින් ශ්‍රී ලංකාවේ දක්ෂතම ටෙනිස් ක්‍රීඩක ක්‍රීඩිකාවන් විවිධ වයස් කාණ්ඩ යටතේ තරග වැදීමට නියමිතයි.
මෙය තරගාවලියක් පමණක් නොව, ක්‍රීඩකයන්, ෆ්‍රැන්චයිස් හිමිකරුවන්, අනුග්‍රාහකයන් සහ ප්‍රේක්ෂකයන් සඳහා ඉහළ මට්ටමේ අත්දැකීමක් ලබාදෙන දිගුකාලීන ක්‍රීඩා වේදිකාවක් ලෙස සංවර්ධනය කිරීමට සැලසුම් කර ඇති බව සංවිධායකයින් පවසනවා.
එමෙන්ම, SLTPL හි ආරම්භක ආයතනික හවුල්කරුවන් ලෙස CL Synergy, Wilson, Cinnamon Life සහ DIMO ආයතන හඳුන්වා දීමද එහිදී සිදු කෙරුණා.
උත්සවයේදී SLTPL සඳහාම සංවර්ධනය කරන ලද නිල ඩිජිටල් වේදිකාව සහ වෙබ් අඩවියද එළිදැක්වූ අතර, එමඟින් ක්‍රීඩක ලියාපදිංචිය, ෆ්‍රැන්චයිස් වෙන්දේසි පද්ධතිය, තරග කාලසටහන්, සජීවී ලකුණු, ප්‍රතිඵල, ශ්‍රේණිගත කිරීම් සහ සංඛ්‍යාලේඛන ඇතුළු සියලු තොරතුරු එක් පද්ධතියක් යටතේ කළමනාකරණය කිරීමට හැකියාව ලැබෙනවා.
ලීග් නිලධාරීන් සඳහන් කළේ, SLTPL යනු තවත් තරගාවලියක් නොව ශ්‍රී ලංකා ටෙනිස් ක්‍රීඩාවේ අනාගතය වෙනුවෙන් සිදුකරන උපායමාර්ගික ආයෝජනයක් බවයි.
වෘත්තීය ෆ්‍රැන්චයිස් ආකෘතියක් හඳුන්වාදීම හරහා නව වාණිජ අවස්ථා නිර්මාණය කිරීම, ක්‍රීඩක සංවර්ධනය ශක්තිමත් කිරීම, පෞද්ගලික අංශයේ දායකත්වය වැඩිදියුණු කිරීම සහ සමස්ත ක්‍රීඩා මට්ටම ඉහළ නැංවීම SLTPL හි ප්‍රධාන අපේක්ෂාව බවද ඔවුන් වැඩිදුරටත් සඳහන් කළා.







Leave a Reply