Loading...

2026 විස්සයි විස්ස ලෝක කුසලානයට ලංකාවෙන් ක්‍රීඩාංගණ 3ක්

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව එක්ව සත්කාරකත්වය දරන 2026 ICC පිරිමි විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ තරඟ පැවැත්වීම සඳහා ශ්‍රී ලංකාවේ ස්ථාන 3ක් නිල වශයෙන් තෝරාගෙන තිබෙනවා.

ICC විධායක කමිටුව විසින් මෙම ස්ථාන ත්‍රිත්වය අනුමත කර ඇති බව වාර්තා වනවා.

එම ස්ථාන 3 වන්නේ කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණය, සිංහල ක්‍රීඩා සමාජ (SSC) ක්‍රීඩාංගණය සහ මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ලෝක කුසලාන තරඟාවලිය වෙනුවෙන්ම SSC ක්‍රීඩාංගණය සඳහා රාත්‍රී තරඟ පැවැත්විය හැකි පරිදි නව විදුලි පහන් පද්ධතියක් සවි කිරීමට යොදා ඇති බවද වාර්තා වනවා.

ඉන්දියාව සහ පාකිස්ථානය අතර ඇති කරගත් එකඟතාව අනුව පාකිස්ථානයට අදාළ සියලුම මුලික තරඟ ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට නියමිතයි.

පාකිස්ථාන කණ්ඩායම අවසන් මහා තරඟය සඳහා සුදුසුකම් ලැබුවහොත් එම අවසන් තරඟය ද පැවැත්වීමට නියමිතව ඇත්තේ කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දීයි.

වෙනත් රටවල් දෙකක් අවසන් මහා තරඟයට සුදුසුකම් ලැබුවහොත් එම තරඟය ඉන්දියාවේ අහමදාබාද් හි නරේන්ද්‍ර මෝදී ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිතයි.

තරඟාවලිය ලබන වසරේ පෙබරවාරි 7 වනදා සිට මාර්තු 8 වනදා දක්වා පැවැත්වෙන අතර ඊට කණ්ඩායම් 20ක් සහභාගී වීමට නියමිත බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *