Loading...

මත්තල ගුවන්තොටුපොළට ආයෝජනයට සමාගම් 45ක උනන්දුව

මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපොළ සඳහා ආයෝජනය කිරීමට සමාගම් 45කට වැඩි සංඛ්‍යාවක් මේ වනවිට අභිලාෂය පළ කර ඇති බව වරාය සහ සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු මහතා ප්‍රකාශ කළා.

ඔහු කියා සිටියේ ගුවන්තොටුපොළේ මෙහෙයුම් කටයුතු පවත්වාගෙන යාම සහ නව යටිතල පහසුකම් සංවර්ධනය සඳහා ආයෝජකයන් තෝරාගැනීමේ ක්‍රියාවලියට අදාළව පැවැති Proposal Meetings සඳහා ද ආයතන 45කට වැඩි සංඛ්‍යාවක් සහභාගි වූ බවයි.

ආයෝජකයන්ගෙන් අභිලාෂය පළ කිරීමේ පත්‍රිකා (EOI) භාර ගැනීම ජූලි මස මැද භාගය දක්වා සිදු කෙරෙන අතර, වාර්තා භාරදීම සඳහා ජූලි 9 වැනිදා දක්වා කාලය ලබාදී ඇති බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා.

ඔහු ප්‍රකාශ කළේ මෙම මාසය අවසන් වනවිට මත්තල ගුවන්තොටුපොළ සඳහා ආයෝජනය කිරීමට කැමැත්ත පළ කර ඇති ආයතන සංඛ්‍යාව පිළිබඳ නිශ්චිත තොරතුරු අනාවරණය වනු ඇති බවයි.

පසුගිය රජය සමයේ මත්තල ගුවන්තොටුපොළ සඳහා ආයෝජකයකු තෝරා ගැනීමට ටෙන්ඩර් කැඳවූ අවස්ථාවේදී ඉදිරිපත්ව තිබුණේ සමාගම් දෙකක් පමණක් බවද අමාත්‍යවරයා මෙහිදී පැවසුවා.

මෙම ආයෝජන ක්‍රියාවලිය මෙම වසර ඇතුළත අවසන් කිරීමට අපේක්ෂා කරන බවත්, ගුවන්තොටුපොළේ මෙහෙයුම් පවත්වාගෙන යාම සඳහා පමණක් වාර්ෂිකව රුපියල් බිලියන 3ක පමණ මුදලක් වැය වන බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා.

මේ අතර, ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, එම ක්‍රියාවලිය සඳහා සුදුසු ව්‍යාපාර ආකෘතිය තීරණය කිරීම වෙනුවෙන් විශේෂඥ සමාගමක් පත් කර ඇති බවයි.

එම සමාගමේ නිර්දේශ අනුව ඉදිරි පියවර ගන්නා අතර, අවශ්‍ය නම් විදෙස් ආයෝජකයකු සමඟ ඉදිරියට යාම සම්බන්ධයෙන් ද රජය අවධානය යොමු කරන බවත්, මාස හයක් ඇතුළත එම ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය අවසන් කිරීමට බලාපොරොත්තු වන බවත් නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *