Loading...

කම්කරු දිනය සමරා ලංකාවේ රැළි සහ පෙළපාලි 40ක්

138 වන ජාත්‍යන්තර කම්කරු දිනය අදට (01) යෙදී තිබෙනවා.

1886 වසරේ මැයි මස 01 වනදා අමෙරිකාවේ චිකාගෝ නුවරට රැස්ව තමන්ට පැය 08ක සේවා මුරයක් ලබාදෙන මෙන් ඉල්ලමින් දින කිහිපයක් පුරා විරෝධතාවල නිරත වූ කම්කරුවන් ඉලක්ක කරමින් එල්ලවූ ප්‍රහාරයෙන් විශාල පිරිසක් මියගිය අතර ඔවුන් සිහිපත් කරමින් ජාත්‍යන්තර කම්කරු දිනය සැමරීම සිදු කරනු ලබනවා.

හේමාකට් අරගලය ලෙස හැඳින්වෙන මෙම අරගලය ලොව ප්‍රථම අරගලය ලෙසද සැලකෙනවා.

එම විරෝධතා මර්දනය කිරීමට පොලීසිය සිදුකළ වෙඩි තැබීම්වලින් කම්කරුවන් 11ක් මියගිය අතර තවත් කම්කරුවන් 130ක් තුවාල ලැබූ අතර විරෝධතාවලට එක්වූ කම්කරුවන් 100ක් පමණ පොලිස් අත්අඩංගුවට පත්වුණා.

කම්කරුවන්ගේ මෙම අරගලය ආරම්භ වූ 1889 වසරේදී මැයි මස පළමු වනදා ජාත්‍යන්තර කම්කරු සංවිධානය විසින් ලෝක කම්කරු දිනය ලෙස ප්‍රකාශයට පත්කළා.

1890 සිට ලන්ඩනයේ කම්කරුවෝ මැයි දින සැමරුම ආරම්භ කර තිබෙන අතර ශ්‍රී ලංකාවේ මැයි දින සැමරුමක් ආරම්භ කර ඇත්තේ ශ්‍රී ලංකා කම්කරු ව්‍යාපාරයේ පුරෝගාමිකයෙක් වූ ඒ. ඊ. ගුණසිංහ මහතා විසිනි.

ශ්‍රී ලංකාව 1927 වසරේදී පළමු වරට කම්කරු දිනය සමරා ඇති අතර මෙරට ප්‍රථම කම්කරු රැලිය 1933දී පවත්වා තිබෙනවා.

එහි පාගමන කොළඹ ප්‍රයිස් පිටියෙන් ආරම්භ වී ගාලු මුවදොර පිටිය දක්වා ගොස්ව ඇති බවයි ඉතිහාසයේ සටහන්ව ඇත්තේ.

ඒ අනුව ලොව සෑම රටක්ම මැයි මස පළමු වන දින කම්කරු දිනය සැමරීම සඳහා පෙළපාලි, රැළි ආදිය සංවිධානය කරනු ලබනවා.

මෙවර ද කම්කරු දිනය සැමරීම සඳහා ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂ සහ සංවිධානය මැයි දින පෙළපාලි රැස්වීම් අද (01) දින සංවිධානය කර තිබෙනවා.

මේ අනුව දිවයින පුරා රැළි සහ පෙළපාලි 40ක් දේශපාලන පක්ෂ සහ වෘත්තීය සමිති විසින් සංවිධානය කර ඇති බව වාර්තා වනවා.

එක්සත් ජාතික පක්ෂයේ මැයි දින රැළිය අද (01) පස්වරු 2ට කොළඹ මාලිගාවත්ත පොලීසිය ඉදිරිපිට දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරන්නේ ජනාධිපතිවරයා අද (01) පෙරවරුවේ ලංකා කම්කරු කොංග්‍රසය සංවිධානය කරන මැයි දින රැළියට සහභාගී වීමෙන් අනතුරුව එක්සත් ජාතික පක්ෂ මැයි දින රැළියට ද සහභාගී වීමට නියමිත බවයි.

ජාතික ජන බලවේගයේ කොළඹ, යාපනය, මාතර සහ අනුරාධපුර ප්‍රදේශවල මැයි රැළි හතරක් සංවිධානය කර තිබෙනවා.

සමඟි ජන බලවේගය කොළඹ චැතැම් විදියේ සහ වතුකරයේ මැයි රැළි දෙකක් පැවැත්වීමට සැලසුම් කර ඇති බවද සඳහන්.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මැයි දින රැළිය කොළඹ කැම්බල් පිටියේ දී පැවැත්වීමට නියමිත අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි දින රැළිය ගම්පහ ප්‍රදේශයේ පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබෙනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *