Loading...

2027 විසර්ජන පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට

2027 වසරට අදාළ විසර්ජන පනත් කෙටුම්පත පළමුවර කියවීම අද (07) පාර්ලිමේන්තුවේදී සිදුකිරීමට නියමිතයි.

කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 25 වැනිදා රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී මෙම අයවැය කාලසටහන සඳහා පූර්ණ අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ අනුව, මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා විසින් එළඹෙන නොවැම්බර් මස 12 වැනිදා ආන්දෝලනාත්මක 2027 අයවැය කථාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත අතර, එදිනම විසර්ජන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම ද සිදුකිරීමට නියමිතයි.

අනතුරුව නොවැම්බර් 13 වැනිදා සිට 20 වැනිදා දක්වා දින 7ක් පුරා දෙවැනිවර කියවීමේ විවාදය පැවැත්වෙන අතර, එහි තීරණාත්මක ඡන්ද විමසීම නොවැම්බර් 20 වැනිදා පස්වරු 6.00ට පැවැත්වෙනවා.

අයවැය කාරක සභා අවස්ථාවේ විවාදය නොවැම්බර් 21 වැනිදා සිට දෙසැම්බර් 14 වැනිදා දක්වා දින 19ක කාලයක් පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.

2027 අයවැය තෙවැනිවර කියවීමේ අවසන් ඡන්ද විමසීම දෙසැම්බර් 14 වැනිදා පස්වරු 6.00ට පැවැත්වීමට නියමිත අතර, එමගින් මෙවර අයවැය පාර්ලිමේන්තු ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම අවසන් වීමට නියමිතයි.

අයවැය විවාද පැවැත්වෙන මුළු කාලසීමාව තුළ ඉරිදා සහ රජයේ නිවාඩු දින හැර සෙනසුරාදා දිනවලදී ද පාර්ලිමේන්තුව රැස්වීමට තීරණය කර තිබෙනවා.

එමෙන්ම, දෙවැනිවර කියවීමේ විවාදයේදී ආණ්ඩු පක්ෂයට සියයට 60කත්, විපක්ෂයට සියයට 40කත් කාලයක් වෙන්කර ඇති අතර, කාරක සභා අවස්ථාවේදී එය ආණ්ඩු පක්ෂයට සියයට 40ක් සහ විපක්ෂයට සියයට 60ක් ලෙස වෙන්කිරීමට ද පාර්ලිමේන්තුව පියවර ගෙන තිබෙනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *