Loading...

හිටපු ජනාධිපති ගෝඨාභයට එරෙහි පාස්කු විමර්ශන ප්‍රබල මට්ටමක – නීතිපති

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව සිදුකරනු ලබන විමර්ශන අතිශය ප්‍රබල තත්ත්වයක පවතින බව නීතිපතිවරයා කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඊයේ (21) නිල වශයෙන් දැනුම් දී තිබෙනවා.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ විමර්ශන නොමඟ යැවීම සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ විශ්‍රාමික මේජර් ජෙනරල් සුරේෂ් සලේ ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව පවතින නඩුව කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා හමුවේ ඊයේ (21) යළි කැඳවූ අවස්ථාවේදී අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා මෙම කරුණු අනාවරණය කළා.

එහිදී මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා සිටින සැකකාර සුරේෂ් සලේ මහතාව පසුගියදා තමන් නිරීක්ෂණය කළ අතර, එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තමන්ට ඉතා හොඳින් සලකන බව සැකකරු තමා වෙත පැවසූ බවයි.

ඊට ප්‍රතිචාර දක්වමින් සලේ මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අසිත් සිරිවර්ධන මහතා විවෘත අධිකරණයේදී පැවසුවේ, තම සේවාදායකයා වැලිසර බන්ධනාගාරයට යවනවාට වඩා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තැබීම සුදුසු බවත්, හදිසි රෝගී තත්ත්වයේදී ඔහු රෝහල්ගත කිරීමට වහාම උපදෙස් දීම ගැන අතිරේක සොලිසිටර් ජනරාල්වරයාට ස්තුතිවන්ත වන බවත්ය.

අධිකරණය හමුවේ වැඩිදුරටත් කරුණු දැක්වූ අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා පෙන්වා දුන්නේ, මීට පෙර අඩපණ වී තිබූ විමර්ශන මේ වන විට ඉතා කඩිනමින් සිදුකරගෙන යන බවයි.

පසුගිය සතියේ හමුදා බුද්ධි අංශයට තොරතුරු ලබා දුන් මිකෙල් සේවියර් විල්වරසිංහම් හෙවත් රාජන් නැමැත්තාගෙන් ප්‍රකාශ සටහන් කරගත් බවත්, පාස්කු ප්‍රහාරයට පෙර තීපන් නැමැත්තෙකුගේ නිවසේ සිටි ‘සාරා ජෙස්මින්’ හඳුනාගෙන ඒ පිළිබඳව හමුදාවේ කෝප්‍රල් සුරංග නැමැත්තා දැනුවත් කළ ද, සුරේෂ් සලේ මහතාගේ අනුදැනුම මත එම තොරතුරු ජනගත වීම වළක්වා ඇති බවත් අනාවරණය වී තිබෙනවා.

ඊට අමතරව, හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජික කරුණා අම්මාන් වෙත ‘කෝකිල දුෂ්මන්ත’ නැමැති ව්‍යාජ නමකින් රාජ්‍ය තාන්ත්‍රික ගමන් බලපත්‍රයක් සකස් කර දී බ්‍රිතාන්‍යයට යැවීමට ද සුරේෂ් සලේ ඇතුළු පිරිස කටයුතු කර ඇති බවත්, සලේ මහතා සතුව විදේශ ගමන් බලපත්‍ර කිහිපයක් පවතින බවත් විමර්ශනවලදී හෙළි වී ඇති බව අතිරේක සොලිසිටර් ජනරාල්වරයා පවසා සිටියා.

කෙසේ වෙතත්, සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශවින්ද්‍ර ප්‍රනාන්දු මහතා කරුණු දක්වමින් කියා සිටියේ, මෙම නඩුවේ ප්‍රකාශ හැරුණු විට කිසිදු භෞතික සාක්ෂියක් නොමැති බවත්, කරුණා අම්මාන්ට ගමන් බලපත්‍ර සකස් කළා යැයි කියන කාලසීමාවේදී සිය සේවාදායකයා ප්‍රංශයේ සිටි බවත්ය.

පාස්කු ප්‍රහාරයේ ප්‍රධාන නඩුවෙන් වරදකරුවන් වූ චූදිතයන් තිදෙනෙකු වන මිල්හාන්, රිස්කාන් සහ සෙල්නුල් ආබ්දින් යන අය විනිසුරු මඩුල්ල හමුවේ කළ ප්‍රකාශ පදනම් කරගෙන බන්ධනාගාරගතව සිටින එම පිරිසෙන් නැවත ප්‍රකාශ ලබාගැනීමට ද පැමිණිල්ල අධිකරණයෙන් අවසර ඉල්ලා සිටියා.

එසේම, විදේශ ගමන් තහනමක් පනවා ඇති හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෛද්‍ය ප්‍රතිකාර සඳහා සිංගප්පූරුව වෙත යාමට විදේශ ගමන් තහනම ඉවත් කරන ලෙස කළ ඉල්ලීම සම්බන්ධයෙන් මහේස්ත්‍රාත්වරයා නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් අතිරේක සොලිසිටර් ජනරාල්වරයා පැවසුවේ, හිටපු ජනාධිපතිවරයාට එරෙහි විමර්ශන දැනට ප්‍රබල මට්ටමක පවතින නමුත්, සිංගප්පූරුවේ මවුන්ට් එළිසබෙත් රෝහලේදී සිදුකළ හෘද සැත්කමේ පසු විපරම් ප්‍රතිකාර සඳහා නොවැම්බර් මැද දක්වා සති 02ක කාලයකට විදේශගත වීමට මානුෂික හේතූන් මත ඉඩ ලබාදීමට අභිමතය පවතින බවයි.

ඉදිරිපත් වූ සියලු කරුණු සලකා බැලූ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා පැමිණිල්ලේ ඉල්ලීම්වලට අවසර ලබාදෙමින්, විමර්ශනවල ප්‍රගතිය වාර්තා කිරීම සඳහා නඩුව ලබන නොවැම්බර් 25 වනදා යළි කැඳවීමට නියෝග කර සිටිනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *