නොරොච්චෝලේ ලක්විජය ගල්අඟුරු බලාගාරයේ විදුලි උත්පාදන කටයුතු හෙට (බ්රහස්පතින්දා) වන විට යළි ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව ජාතික පද්ධති මෙහෙයුම්කාර සමාගම පවසනවා.
එහි සභාපති බී. එල්. ප්රදීප් ප්රියදර්ශන පෙරේරා මහතා ‘ඩේලි මිරර්’ පුවත්පත වෙත අදහස් දක්වමින් සඳහන් කර ඇත්තේ, බලාගාරය අක්රිය වීම හේතුවෙන් ජාතික පද්ධතියට මෙගාවොට් 250ක විදුලි ධාරිතාවක හිඟයක් ඇති වූ බවත්, එය කළමනාකරණය කරගැනීම සඳහා විදුලි කප්පාදුවක් සැලසුම් කිරීමට සිදුවූ බවත්ය.
“මේ දිනවල රාත්රී කාලයේ විදුලි ඉල්ලුම සපයා ගැනීම සඳහා අපට මෙගාවොට් 2,800ක විදුලි බලයක් අවශ්ය වෙනවා. නමුත් දැනට අපට පවතින්නේ හිඟයක්. සඳුදා රාත්රියේ අපට සැපයීමට හැකි වූයේ මෙගාවොට් 2,570ක් පමණයි” යනුවෙන් ඔහු වැඩිදුරටත් පැහැදිලි කර තිබෙනවා.
රට පුරා සිදු වූ හදිසි විදුලිය බිඳවැටීමක් (Blackout) හේතුවෙන් නොරොච්චෝලේ ලක්විජය බලාගාරය ද අක්රිය වීමට හේතුවූයේ, බලාගාරය ආරක්ෂිතව ක්රියාත්මක වීම සඳහා ද අඛණ්ඩ බාහිර හෝ අභ්යන්තර විදුලි සැපයුමක් අවශ්ය වන බැවිනි.
බලාගාරය ජාතික පද්ධතියට විදුලිය උත්පාදනය කළ ද, බොයිලේරු වෙත ගල්අඟුරු ගෙන යන පද්ධති, දහනය පවත්වා ගැනීමට සහ ජලය සංසරණය කිරීමට භාවිත කරන පංකා සහ පොම්ප, සිසිලන ජල පම්ප මෙන්ම සමස්ත ක්රියාවලිය අධීක්ෂණය සහ පාලනය කරන පද්ධති වැනි සහායක පද්ධති (Auxiliary systems) ක්රියාත්මක කරවීම සඳහා ද විදුලිය අත්යවශ්ය වනවා.
සාමාන්ය ක්රියාකාරී තත්ත්වයන් යටතේ මෙම පද්ධතිවලට විදුලිය ලැබෙන්නේ බලාගාරයේම ජනක යන්ත්රවලින් හෝ බාහිර විදුලි සැපයුමකිනි.
ප්රධාන විදුලි පද්ධතියේ ඇතිවන විශාල බාධාවක් නිසා බලාගාරයේ ජනක යන්ත්රය ජාතික පද්ධතියෙන් විසන්ධි වූ විට, එහි සහායක පද්ධතිවලට අවශ්ය විදුලි සැපයුම අඩාල වුවහොත් උපකරණවලට සිදුවන හානිය වැළැක්වීම සඳහා ආරක්ෂක පද්ධති මගින් විදුලි උත්පාදක යන්ත්රය ස්වයංක්රීයව අක්රිය (Trip) කරනු ලබයි.







Leave a Reply