Loading...

ලංකාවේ පළමු වන දෘශ්‍යබාධිත මන්ත්‍රීවරයා

ලංකාවේ යූටියුබ් සහ සමාජ ජාලා අවකාශයෙ දේශපාලනය සහ නීතිය කියන ක්ෂේත්‍ර සම්බන්ධයෙන් ඉතාම දැනුවත්භාවයකින් මිනිස්සුංව දැනුවත් කරන Bharatha Prabhâshana Thennakoon මහත්මය සිදුකරපු වීඩියෝවක පූර්ණ දෘශ්‍යාබාධිත පුද්ගලයෙක් වෙච්ච සුගත් වසන්ත ද සිල්වා මහත්මයව ජාතික ජනබලවේගය #NPP විසින් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයකට පත් කිරීම සම්බන්ධයෙන් ඉතාම සුබවාදීව කරුනු ඉදිරිපත් කලා. ඇත්තටම ඔහු බ්‍රිතාන්‍යය, කෙන්යාව වගේ රටවල් වල පූර්ණ දෘශ්‍යාබාධිත පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මන්ත්‍රීවරියන් සම්බන්ධයෙනුත් උදාහරණත් ඉදිරිපත් කලා.

ඇත්තටම භාරත කිව්ව වගේම මේ විදිහට දෘශ්‍යාබාධිත හෝ වෙනත් ආබාධයක් තියෙන කෙනෙක් ව පත් වෙන එක මැජික් එකක් වෙන්න ඕන නැහැ. ඒත් ඇත්තටම අපේ සමාජෙ මිනිස්සු වෙනස් කොට සැලකිම් වලට කොටින්ම කියනවනං ජාතිය, ආගම, වයස, ස්ත්‍රී පුරුෂබාවය, උපන් ස්ථානය, කුලය, මව වගේ එකී මෙකී නොකී හැම බහු බූතයකින්ම මිනිස්සුංව බෙදන්න ම ඉන්න නිසා මේ ක්‍රියාමාර්ගය වැදගත් කියල සඳහන් කරන්න පුලුවං.

හරි දැං මොකද්ද අර්බුදය?

අර්බුදය මෙන්න මේකයි. භාරත කියනව ලංකාවෙ පාර්ලිමේන්තුවම මේ එක මන්ත්‍රීවරය වෙනුවෙං ලෑස්ති වෙන්න ඕන සමස්ත පද්දතියම උඩු යටි කුරු වෙන්න වෙනව කියල. භාරත කියන දේ සරලවම කියනවනං

(1) වෙනත් මන්ත්‍රීවරුන්ට සිංහල, දෙමල සහ ඉංග්‍රීසි දෘඩ පිටපත් කියවන්න පුලුවං උනාට මෙතුමට දෘශ්‍යාබාධිතබාවය නිසා කඩදාසි බලාගෙන දිවුරුම් දිමේ සිට අයවැය ලේඛනය, පනත් කෙටුම්පත් සහ කාර්‍ය සාදන වාර්තා ආදි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට හිමිවන අටෝරාසියක් ලේඛන පරිෂීලනයට අපහසු වීම

(2) ඒ නිසා එතුමාගේ පහසුව සැලසීම සඳහා ඒ සියලුම ‌ලේඛන බ්‍රේල් මාධ්‍යයෙන් හරි කථන පුස්තක (audio books) විදිහට ලබල දෙන්න ඕන කියන එක.

මෙතන බැලූබැල්මට කිසිම අවුලක් නැහැ කියල තේරුනාට විශාල ගැටලුවක් තියෙනව. ගැටලුව තමයි මේ සඳහා යන අධිකතර පිරිවැය.

මොකද පාර්ලිමේන්තුවේ බ්‍රේල් මාධ්‍යයෙන් මුද්‍රණය කරන්න ගියෝතිං බ්‍රේල් මුද්‍රණ යන්ත්‍රයක් මිලදීගන්න මිලියන ගනනාවක් වැය කරන්න සිද්ධ වෙනව. ඒ විතරක් නෙවෙයි ඒ උපාංග නඩත්තු කරන්න වගේම බ්‍රේල් කඩදාසි වලට සහ නඩත්තු වියදමත් ඒකක පිරිවැයත් ඉතා ඉහලයි. මීට අමතරව මෙතන .තියෙන තව අවුලක් තමයි බ්‍රේල් පිටුවක් සමහරවිට සාමාන්‍ය අකුරින් ලියන පිටු බාගයක තියෙන දත්තවත් සඳහන් කරන්න බැරි කම. උදාහරනයක් විදිහට පිටු 500 ක පොතක් ගත්තොත් බ්‍රේල් වලිං ඒක පිටු 1500කට ආසන්න අගයක් වෙන්න පුලුවං. ඒ නිසා තමයි දැනටත් බ්‍රේල් මාධ්‍යයෙන් මුද්‍රණය කරන සීමිත පෙලපොත් ලබා දෙද්දිත් වෙලුම් විදිහට එවන්නෙ සහ තව දුරටත් බ්‍රේල් පෙලපොත් 100%ක්ම සෑම විෂයකට ම සිසු සිසුවියන්ට ලැබෙන්නෙ නැත්තෙත් මෙන්න මේ කියන පිරිවැය ප්‍රෂ්ණය නිසා.

අනිත් අතට මෙතන තියෙන තවත් අවුලක් තමයි කථන පුස්තක හදන්න ගියෝතිං කියවිමට වගේම අදාල පුස්තකය සංස්කරණය කරන්න යන විශාල කාලය සහ ශ්‍රමය. මේකට යන වියදමත් සෑහෙන්න අධිකයි. මොකද පිටුවකට කියවීමට සහ සංස්කරණයට වෙන වෙනම මුදල් වැය කරන්න වෙනව. එතකොට පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයෙ තියෙන සියලූම අයිතම මේ විදිහට බ්‍රේල් වලිං හෝ කථන පුස්තක වලිං කරන්න ගියොත් ඒක කෙලවර වෙන්නෙ අනාබාධිත මන්ත්‍රීවරුන් 10කගෙ 12කගෙ වියදම එක් මන්ත්‍රීවරයෙක් වෙනුවෙන් දරන්න වෙලා…

හරි දැං රෙදි කරට ගන්න එපා. මේ කියන්නෙ වියදම් වැඩියි කියල ආබාධ සහිත මන්ත්‍රීවරයෙක් පත් කරපු එක වැරදියි කියන එක එහෙම නෙවෙයි.

විසඳුමක් තියෙනව. සුගත් මන්ත්‍රීතුමා ට ලබා දෙන සහනය හරහ ලංකාවෙ හැම දෘශ්‍යාබාධිත පුද්ගලයෙක්ටම සහනයක් දෙන්න පුලුවං ක්‍රමයක්… ඒ තමයි අදාල පාර්ලිමේන්තු විතරක් නෙවෙයි සියලූම රාජ්‍ය ලේඛන වල මෘදු පිටපත් (softcopies) accessible විදිහට නිකුත් කරන එක. ඒ කියන්නෙ සරලවම කියනවනං පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන සහ සියලූම රාජ්‍ය ලේඛන දැනට පාවිච්චි කරන යල් පැන ගිය යුනිකේතනොවන (non-unicoded fonts) මගින් ප්‍රකාශයට පත් කරන්නෙ නැතුව අන්තර්ජාතික සම්මත ක්‍රමවේදය වෙච්ච යුනිකේත භාවිතා කරල pdf වගේම word/ html වගේ තවත් වෛකල්පිත ක්‍රමවේදයකින් (alternative formats) වලිං ඉදිරිපත් කරන්න පුලුවං… ඒත් කාටහරි හිතෙනවනං හැමෝටම පරිගනක භාවිතා කරන්න බැහැනෙ තරුණ අය ට විතරනෙ එහෙම පුලුවං කියල ඒකටත් උත්තරේ හරිම සරලයි. බ්‍රේල් ඩිස්ප්ලේ කියන උපකරණය සැලකිය යුතු මිලක් වෙනව. එහෙම මිලක් ගෙවල ඒ උපකරණය අරගත්තත් ඒ උපකරණයටත් feed කරන්න වෙන්නෙ අර කියන accessible විදිහට හදන පිටපත්මයි. අනිත් අතට කථන පුස්තක පාවිච්චි කරන්න ගොඩක් ආස කෙනෙක්නං අර කියන accessible පිටපතම ඩේසි ටෙක්ස්ට් ආකාරයට හරවල කියවන්න සහ ශ්‍රව්‍ය කෘතිය සංස්කරණය කරන්න යන කාලයට වඩා සෑහෙන්න අඩු කාලයක් ඇතුලත ඒ ලේඛන භාවිතා කරන්න කරන්න පුලුවං.

ඒ වගේම තමයි විශ්වවිද්‍යාල වලත් සම්පූර්ණයෙන්ම පරිගනකයෙන් පමණක් විභාග කරපු දෘශ්‍යාබාධිත අය සම්බන්ධයෙන් ලංකාවේ Mahesh Panditha වගේ උදාහරණ තියෙනව. අනෙක මේ දේ කරන්න බැරි වැඩක් නෙවෙයි. ඒ විතරක් නෙවෙයි මේ සම්බන්ධයෙන් Isuru Panditha and Enable Lanka Foundation vs Govt Printer and Others (SC FR 177/2023) කියන මූලික අයිතිවාසිකම් පෙත්සමෙං මේ විදිහට accessible පිටපත් ලබා නොදෙන එක දෘශ්‍යාබාධිත ප්‍රජාවගෙ අයිතිවාසිකම් කඩ කිරීමක් බවට තීන්දුවක් වෙනුවෙන් #FundamentalRights නඩුවකුත් ශ්‍රේෂ්ඨාධිකරණයේ මේ වෙද්දී විභාග වෙනව.

දැං මෙහෙමයි. Reasonable accommodation එහෙම නැත්තං සාධාරන ඉඩ ප්‍රස්ථාව කියන්නෙ සියල්ලන්ටම හිමි විය යුතු අයිතියක්. ඒ කියන්නෙ හැම දෘශ්‍යාබාධිත මනුස්සයම මේ කියන තාක්ෂණය භාවිතා කරන්න ඕනෑය කියන එක නෙවෙයි. ඒ ඒ පුද්ගලයගෙ අවශ්‍යතා වලට අනුකූලව ඒව ඉටු කරන එක රජයෙ කාර්‍යයක්. හැබැයි මේ අවස්තාවේදි ගරු සුගත් වසන්ත ද සිල්වා මන්ත්‍රීතුමාගෙ පත්විමත් එක්ක එතුමටත් අනිත් අතට සමස්ත දෘශ්‍යාබාධිත ප්‍රජාවටත් අනාබාධිත මිනිස්සු වගේම තමංගෙ දුරකථනයෙන් නැත්තං පරිගනකයෙන් කඩදාසි භාවිතා නොකර ම රජයෙ ලේඛන වලට ප්‍රවේශ වෙන්න අවස්ථාව හිමි කරන්න මේක අවස්ථාවක් කරගන්න ඕන.

නැත්තං දෘශ්‍යාබාධිතබාවය = බ්‍රේල් භාවිතා කිරීම සහ දැඩි වියදමක් දරීමට සිදුවීම කියන කාරණය සමාජගත උනොත් එය එහෙම නොවන තාක්ෂණයත් එක්ක මුහුවෙලා කටයුතු කරන දෘශ්‍යාබාධිත ‍ප්‍රජාව හෑල්ලුවට ලක් වීමක්.

ඒ වගේම ලංකාවෙ රාජ්‍ය සේවාව ඩිජිටල්කරණය කරන්න සැරසෙන වෙලාවෙත් සමස්ත ආබාධ සහිත ප්‍රජාව සම්බන්ධයෙන් වෙන වෙනම අධ්‍යයනයක් කරල අදාල රාජ්‍ය සේවය digitalize කරනවත් එක්කම එය accessible කරන එකත් ඉතා වැදගත්. ඒකට අවශ්‍ය කරන බුද්ධිමත් උගත් නව තාක්ෂණය භාවිතා කරන විවිධ ආබාධ සහිත ප්‍රජාව වගේම අනාබාධිත ප්‍රජාවත් රජයට කිසිදු මූල්‍යමය වාසියක් නොතකා අවශ්‍ය උපදේශකත්වය දෙන්න පැකිලෙන එකක් නැහැ.

ආයිත් කියන්න තියෙන්නෙ භාරත තෙන්නකෝන් කියන විදිහට සුගත් වසන්ත ද සිල්වා කියන පූර්ණ දෘශ්‍යාබාධිත පුරවැසියව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස පත් කිරීම ඉතාම ප්‍රශංසනීයයි. ඒ එය ලංකා ඉතිහාසයේ පලවෙනි පුර්ණ දෘශ්‍යාබාධිත මන්ත්‍රීවරය විදිහට ලබපු පත්වීම එක්ක.

හැබැයි ලෝකෙ ඉස්සරහට යනව වගේම මෙතන නොකියපු විවිධාකාර තාක්ෂණ මෙවලම් වලිං සන්නද්ධ වෙලා ඉන්න ප්‍රජාවක් වන දෘශ්‍යාබාධිත ප්‍රජාව බ්‍රේල් හා කථන පුස්තක වලට ලඝු කරල එක් පුද්ගලයෙකුගෙ විභවතාවය සමස්තයටම ආදේශකරන එක ගැටලුවක් වෙන නිසා අනිත් අතට පාර්ලිමේන්තුව පූර්ණ දාශ්‍යාබාදිත මන්ත්‍රීවරය පිලිගන්නව වගේම මුලු පාර්ලිමේන්තු සංකිර්ණයත් පාර්ලිමේන්තු ක්‍රමවේදය සහ ලේඛන සියල්ලෙහිම ප්‍රවේශ්‍යතා විගණනයක් (accessibility audit) සිදුකලොත් ඒක ඒක ඉතා වැදගත් පියවරක්.

පුනරුද ආණ්ඩුව සැබෑම පුරුදය සිදුකලා වෙන්නෙ මේ වගේ ආබාධ සහිත පුරවවැසියන් සියලු දෙනාටම ප්‍රවේශ්‍යතාවය සහ සාධාරණ අවස්ථා නිර්මාණය කරන්න වැඩ කලොත් පමණයි. නැත්නම් සුගත් වසන්ත ද සිල්වා මහතමයගෙ පත්විම හුදු සංකේතාත්මක එකක් වෙලා ඔහුගේ වසර ගණනාවක් වන සමාජ මෙහෙවරත් ප්‍රෂ්ණගත කරන තැනට ආබාධ සහිත ප්‍රජාව ම එලඹෙන එක වලක්වන්න බැහැ. මොකද

පූජාසනයේ ඔබ හිඳුවා

ඔබට පුදන ඒ ලෝකයමයි හෙට

ඔබට එරෙහි වී නැගිටින්නේ

කියල නන්දා මාලිනී ගානයා කරන සින්දුව පවන කැසට් පටය නිකුත් කරපු එදාටත් වඩා අදට වලංගු නිසා.

සටහන – Amanda Kalpashaka


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *