Loading...

රියාද් කිං ඛාලිඩ් ගුවන්තොටුපළ භාවිත නොකරන ලෙස හූතිවරුන්ගෙන් යළිත් තර්ජනාත්මක අනතුරු ඇඟවීමක්

සෞදි අරාබියේ රියාද් නුවර පිහිටි කිං ඛාලිඩ් ජාත්‍යන්තර ගුවන්තොටුපළ (King Khalid International Airport) භාවිත කිරීමෙන් වළකින ලෙස හූති කැරලිකරුවන් විසින් යළිත් වරක් දැඩි අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

ගුවන්තොටුපළේ මෙහෙයුම් කටයුතු තාවකාලිකව අත්හිටුවීමෙන් අනතුරුව, අද (25) සිට ගුවන් ගමන් සඳහා පර්යන්ත (Terminals) දෙකක් වෙන් කිරීමට ගුවන්තොටුපළ බලධාරීන් පියවර ගෙන ඇත.

හූති කැරලිකරුවන්ගේ මෙම අලුත්ම අනතුරු ඇඟවීම නිකුත් වී ඇත්තේ එම නිවේදනය නිකුත් කර පැය කිහිපයකට පසුව වීම විශේෂත්වයකි.

හූති හමුදා ප්‍රකාශකවරයා සඳහන් කර ඇත්තේ, කිං ඛාලිඩ් ජාත්‍යන්තර ගුවන්තොටුපළ තවදුරටත් තමන්ගේ “හමුදා ඉලක්කයක්” ලෙස සලකන බවයි.

එමෙන්ම, අදාළ ගුවන්තොටුපළ ඉලක්ක කර ගනිමින් සිදුකරන ප්‍රහාරාත්මක මෙහෙයුම් ඉදිරියටත් අඛණ්ඩව පවත්වාගෙන යන බව ද ඔහු වැඩිදුරටත් කියා සිටියා.

මේ හේතුවෙන් අදාළ ගුවන්තොටුපළ භාවිත කිරීමෙන් වළකින ලෙස සියලුම ගුවන් සමාගම්, ගුවන්තොටුපළ සේවකයන් මෙන්ම ගුවන් මගීන් වෙත ද හූති සංවිධානය විසින් දැඩි ලෙස බලකර සිටියි.

මේ අතර, කිං ඛාලිඩ් ජාත්‍යන්තර ගුවන්තොටුපළ බලධාරීන් ඊයේ (24) නිවේදනය කළේ අද (25) සිට පර්යන්ත අංක 1 දේශීය ගුවන් ගමන් සඳහාත්, පර්යන්ත අංක 2 ජාතික ගුවන් සමාගම් විසින් ක්‍රියාත්මක කරනු ලබන ජාත්‍යන්තර ගුවන් ගමන් සඳහාත් වෙන් කර ඇති බවයි.

පසුගිය ඔක්තෝබර් 10 වැනිදා හූති කැරලිකරුවන් විසින් එල්ල කළ බවට පැවසෙන මාරාන්තික ප්‍රහාරයකින් පුද්ගලයන් 13 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 300 කට අධික පිරිසක් තුවාල ලැබූවා.

එම ප්‍රහාරයත් සමඟ ගුවන්තොටුපළේ මෙහෙයුම් කටයුතු තාවකාලිකව අත්හිටුවීමට බලධාරීන්ට සිදු විය. මෙය දශකයකට වැඩි කාලයක් තුළ සෞදි අරාබියට එල්ල වූ මාරාන්තිකම ප්‍රහාරය ලෙස ද වාර්තා වනවා.

හූති කැරලිකරුවන් විසින් සෞදි අරාබියේ ගුවන්තොටුපළ, වරාය මෙන්ම ප්‍රධාන තෙල් යටිතල පහසුකම් ඉලක්ක කර ගනිමින් දිගින් දිගටම බැලස්ටික් මිසයිල සහ ඩ්‍රෝන යානා ප්‍රහාර එල්ල කරමින් සිටින බව වාර්තා වනවා.

මෙම ප්‍රහාර මාලාව හේතුවෙන් කලාපීය වශයෙන් අමෙරිකාවේ ප්‍රධාන මිත්‍ර රාජ්‍යයක් වන සෞදි අරාබිය වෙත දැඩි බලපෑමක් එල්ල වී තිබෙනවා.

කෙසේ වෙතත්, හූති කැරලිකරුවන්ට එරෙහිව සෞදි අරාබිය ද සිය හමුදා මැදිහත්වීම් මෑතකදී දැඩි කර ඇත. පසුගිය මාසයේදී රතු මුහුදු වෙරළ තීරයේ උපායමාර්ගික ප්‍රදේශ කිහිපයක් අත්පත් කර ගැනීමෙන් පසු, යේමන රජයේ ප්‍රතිප්‍රහාරක මෙහෙයුම් සඳහා සහාය පළ කරමින් සෞදි අරාබිය ද හූති ඉලක්ක වෙත ගුවන් ප්‍රහාර එල්ල කරමින් සිටින බව හමුදා ආරංචි මාර්ග තහවුරු කරයි.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *