ඉන්ධන මිල ගණන් වැඩි කිරීමට අවසර ඉල්ලා බලශක්ති අමාත්‍යාංශයට යොමු කළ ලිපියට යහපත් ප්‍රතිචාරයක් නොලැබුණහොත්, දිවයින පුරා පිහිටි පෞද්ගලික ඉන්ධන සමාගම් තුනට අයත් පිරවුම්හල් 500ක් වසා දැමීමට එම සමාගම් තීරණය කර ඇති බව වාර්තා වනවා.
එම සමාගම් පවසන්නේ සිය ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට අවස්ථාවක් ලබාදෙන ලෙස අමාත්‍යාංශයෙන් ඉල්ලා සිටියද, ඊට නිසි යහපත් ප්‍රතිචාරයක් නොලැබුණහොත් මෙම පියවර ගන්නා බවයි.
ඊයේ (17) කොළඹදී රැස්වූ අදාළ සමාගම්වල අලෙවි නියෝජිතයින් එකඟතාවයෙන් මෙම තීරණයට එළඹි බව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ සභාපති ෂෙල්ටන් ප්‍රනාන්දු මහතා සඳහන් කළා.
ගොඩබෑමේ පිරිවැයට අනුකූලව මිල සංශෝධනය කිරීමට පෞද්ගලික සමාගම් ඉල්ලීම් කළද, විදුලිබල හා බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා මීට පෙර කියා සිටියේ එම මිල වැඩි කිරීම්වලට රජය එකඟ වී නොමැති බවයි.
මිල ගණන් වැඩි කිරීමට එකඟ නොවීම හේතුවෙන් මේ වන විටත්,
ලංකා IOC: පිරවුම්හල් 275ක්
සිනොපෙක් (Sinopec): පිරවුම්හල් 150ක්
ආර්.එම්. පාර්ක් (RM Park): පිරවුම්හල් 100ක් හරහා ඩීසල් බෙදාහැරීම සතියකට වැඩි කාලයක සිට සීමා කර තිබෙනවා.
මේ හේතුවෙන් අදාළ සමාගම්වලින් ඉන්ධන නිකුත් කිරීම 50%කින් පමණ අඩුවී ඇති අතර, පෞද්ගලික සමාගම්වල මෙම ක්‍රියාකලාපය නිසා පාරිභෝගිකයින් දැඩි අසීරුතාවයට පත්ව ඇති බවයි ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ සංගමය පෙන්වා දෙන්නේ.







Leave a Reply