කොළඹ විහාරමහාදේවි උද්යාන පරිශ්රයේ පැවැත්වෙන සත්යග්රහ භූමියේදී පසුගියදා පිහි දෙකක් ද සමඟින් අත්අඩංගුවට ගත් පුද්ගලයා පැලවත්තේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණු ප්රධාන කාර්යාලයට සම්බන්ධ බවට පූජ්ය බලංගොඩ කස්සප හිමියන් විසින් සිදුකරන ලද ප්රකාශයට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ අද (23) දින කුරුඳුවත්ත පොලීසිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.
CIB II 289/237 යන අංකය යටතේ කුරුඳුවත්ත පොලිස් ස්ථානය වෙත ගොනුකර ඇති මෙම පැමිණිල්ල මඟින් ඉල්ලා ඇත්තේ, බලංගොඩ කස්සප හිමියන් විසින් සිදුකරන ලද මෙම ප්රකාශය සම්බන්ධයෙන් වහාම පූර්ණ හා සාධාරණ විමර්ශනයක් පවත්වන ලෙසයි.
අසත්ය හා පදනම් විරහිත ප්රචාරයන් මඟින් මහජනතාව අතර නොසන්සුන්තාවයක් සහ කැළඹීමක් ඇති කිරීමට උත්සාහ දරා ඇති බව පෙනී යන බව ජනතා විමුක්ති පෙරමුණ පෙන්වා දෙයි.
විශේෂයෙන්ම පැලවත්ත ප්රධාන කාර්යාලය ජනාධිපතිවරයා නිතර යන එන ස්ථානයක් වන බැවින් එම ස්ථානයේ ආරක්ෂාවට තර්ජනයක් එල්ල වන පරිදි මෙම ප්රකාශය සිදු කර ඇති බවත්, අදාළ සිද්ධියට අත්අඩංගුවට ගත් පුද්ගලයා කිසිදු ආකාරයකින් ජවිපෙ පැලවත්ත කාර්යාලයට සම්බන්ධතාවක් නොමැති බවත් ඔවුන් වැඩිදුරටත් අවධාරණය කරයි.
මෙම අසත්ය ප්රකාශයට අදාළ වීඩියෝ දර්ශන ඇතුළත් සංයුක්ත තැටි සහ ෆේස්බුක් (Facebook) සමාජ මාධ්ය සටහන්වල පිටපත් ද ජනතා විමුක්ති පෙරමුණ විසින් නීතිමය සාක්ෂි ලෙස කුරුඳුවත්ත පොලීසිය වෙත භාරදීමට කටයුතු කර තිබෙනවා.







Leave a Reply