Loading...

ගම්පහ මහේස්ත්‍රාත්වරයා විනිසුරුවන් පුහුණු කිරීමේ ආයතනයට මාරු කරයි

ගම්පහ මහේස්ත්‍රාත් බන්දුල ගුණරත්න මහතාට වහාම ක්‍රියාත්මක වන පරිදි විනිසුරුවන් පුහුණු කිරීමේ ආයතනය වෙත ස්ථාන මාරුවක් ලබා දීමට අධිකරණ සේවා කොමිෂන් සභාව පියවර ගෙන තිබෙනවා.

අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම් ප්‍රසන්න අල්විස් මහතා විසින් අදාළ ස්ථාන මාරුවීමට අදාළ ලිපිය නිකුත් කර ඇති බව වාර්තා වනවා.

ගම්පහ පොලිසියේ දූෂණ මර්දන අංශය විසින් මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගත් බවට අසත්‍ය චෝදනා නගමින් එකම දිනයේ සැකකරුවෙකුට එරෙහිව ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු දෙකක් ගොනු කර තිබුණා.

එහිදී එකම සැකකරුවෙකුට එකම චෝදනා යටතේ එකම දිනයේ නඩු දෙකක් පවරා ඇත්තේ මන්දැයි මහේස්ත්‍රාත්වරයා ප්‍රශ්න කළ අතර, එහිදී පොලිසිය සඳහන් කර ඇත්තේ එය අත්වැරැද්දක් බවත් එක් නඩුවක් ඉල්ලා අස්කර ගන්නා බවත්ය.

එහිදී නිකරුණේ අහිංසක ජනතාවට එරෙහිව නඩු නොපවරන ලෙස පොලිසියට දැඩිව අවවාද කළ මහේස්ත්‍රාත්වරයා, අදාළ සැකකරුට වන්දි ගෙවන ලෙස ද පොලිසියට නියෝග කළා.

එමෙන්ම, අනීතිකව නඩු නොපවරන ලෙස දැනුවත් කරමින් සියලුම පොලිස් ස්ථාන ආවරණය වන පරිදි චක්‍රලේඛයක් නිකුත් කරන ලෙස මහේස්ත්‍රාත්වරයා පොලිස්පතිවරයාට නියෝගයක් ද නිකුත් කර තිබුණා.

කෙසේ වෙතත්, අදාළ නියෝගය ක්‍රියාත්මක නොවීම සහ සිදුවීම සම්බන්ධයෙන් පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් අධිකරණ සේවා කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණා.

පොලිස්පතිවරයා විසින් නියෝගය නොතකා කටයුතු කරමින් අධිකරණයට අපහාසයක් සිදු කර ඇති බවට නිගමනය කරමින් අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා වෙත බන්දුල ගුණරත්න මහතා විසින් මීට පෙර පැමිණිල්ලක් ද ගොනු කර තිබුණා.

පොලිස්පතිවරයාගේ පැමිණිල්ල මත අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් මහේස්ත්‍රාත්වරයාගෙන් ඒ පිළිබඳ නිරීක්ෂණ ඉල්ලා සිටි අතර, ඒ අනුව ඉදිරිපත් වූ නිර්දේශ මත මෙම ස්ථාන මාරුවීම සිදු කර ඇත.

මේ අතර ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයේ නව මහේස්ත්‍රාත්වරයා ලෙස කෝසල සේනාධීර මහතා පත්කර තිබෙනවා.

අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් මෙම පත් කිරීම සිදුකර ඇති අතර, ඒ මහතා ලබන සඳුදා (09) සිය ධුරයේ වැඩ භාර ගැනීමට නියමිතයි.

මින් පෙර ගම්පහ මහේස්ත්‍රාත්වරයා ලෙස කටයුතු කළ බන්දුල ගුණරත්න මහතාට වහාම ක්‍රියාත්මක වන පරිදි විනිසුරුවරුන් පුහුණු කිරීමේ ආයතනය වෙත ස්ථාන මාරුවීමක් ලබාදීමට අධිකරණ සේවා කොමිෂන් සභාව පියවර ගෙන තිබුණා.

ඒ අනුව ඇති වූ පුරප්පාඩුව සඳහා කෝසල සේනාධීර මහතා මෙලෙස නව මහේස්ත්‍රාත්වරයා ලෙස පත්කර තිබෙනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *